හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

මාතලේ දිස්ත්‍රික්කය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ප්‍රදේශයක්. මාතලේ අළුවිහාරය විහාරස්ථානය, සීගිරිය, දඹුල්ල රජමහා විහාරය, රිවස්ටන් වගේ ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය දිනූ තැන් රාශියක් මේ දිස්ත්‍රික්කයේ  පිහිටා තියෙනවා.  අද අපි කියන තැන නම එහෙම හුඟක් ප්‍රසිද්ධ තැනක් නොවෙයි.  මහනුවර - වත්තේගම පසු කරලා කන්දේනුවර නගරයට ඇවිත් කිලෝමීටර් 05 කට ආසන්න දුරක් ගමන් කිරීමෙන් මේ තැනට එන්න පුළුවන්

මේ සුන්දර ස්ථානය නම් කරලා තියෙන්නේ "වන් ට්‍රී හිල් (ONE TREE HILL)" කියලා නමේ විදිහටම මීටර් 950 කට වඩා උසින් ‍තියෙන මේ කඳු මුදුනේ එකම එක රූස්ස ගසක් විතරක් පිහිටා තිබිම ඒ නම් කිරීම‍ට හේතුව විදිහට හඳුන්වන්න පුළුවන්.  රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ,  හුනුගල වතු යායට අයත් මේ කඳවුරු භූමියට වාහනයකින් ම ළඟාවීමට හැකියාව පැවතුණත්, කාපට් ඇතිරූ මාර්ගයෙන් , බැහැරව කිලෝමීටර් 3 කට ආසන්න දුරක් අබලන් වූ මාර්ගයක ගමන් කළ යුතු වීමත්, මාර්ගයේ අවසාන කොටසෙහි ගල් බොරළු සහිත ඉහළ තරමක බෑවුමක් සහිතව පිහිටා තිබීම නිසා සැලකිලිමත් ව රිය ධාවනය කිරීමට වග බලා ගත යුතුයි.

 

වන් ට්‍රී හිල් එන සංචාරකයෙකුට උචිත ම වේලාව විදිහට සවස් කාලය නම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඉතා කලාතුරකින් දකින්න ලැබෙන පැහැදිලි මෙන්ම ඉතා සුන්දර වූ ඉර බැසීමේ දර්ශනයක් නැරඹීමට ඇති අවස්ථාව නිසායි. මෙම කඳවුරු භූමිය නැරඹීමට එන අයෙකුගෙන් ඉතා සුළු මුදලක් (රු.100) අයකරනු ලබන අතර, රාත්‍රී කඳවුරු බැ‌ඳීම සඳහා වෙනම ටිකට් පතක් (රු.2000)  ලබාගත යුතු වනවා.

 

ආලෝක දූෂණයෙන් ‍තොර වූ මෙම හරිත භූමියේදී තරු ලක්ෂ ගණනක වියනක් යට අත්දැකීම ඔබට ජීවිතයේ කිසිදා අමතක නොවන මතකයක් වනු නිසැකයි. යකඩින් තනන ලද ඔන්චිල්ලාව ද ඔබට ඒ අත්දැකීමට තව තවත් වර්ණ එකතු කරදෙනු ඇති. හරිත වර්ණයත් සමග මුසු වූ නීල වර්ණයෙන් මෙම පරිසර පද්ධතිය සෑමවිටම සැරසී සිටින අතර, බැලු බැලු අත මීදුම් සේල නිරන්තර දැකගැනීමට ද හැකියි. එමෙන්ම මෙම කඳවුරු භූමියේදී මෘදු සුළං සේල ද නිරතුරු ශරීරයේ නිරතුරු ව දැවටී ගත සිසිල් කරන අයුරු ද ඔබට අත්දැකිය හැකියි.
ශ්‍රී ලංකාව තුළ අවසර සහ පහසුකම් සහිතව කඳවුරු බැඳිය හැකි ඉතා සීමිත වූ කඳවුරු භූමි ලැයිස්තුවට එක් වූ "වන් ට්‍රී හිල් (ONE TREE HILL)" කඳවුරු භූමිය ආරක්ෂා කරගැනීම සංචාරකයින් සතු යුතුකමක් වන අතර, තමා රැගෙන යන සියලු දේ පරිසරයට මුදා නොහැර නැවත රැගෙන ඒමට කටයුතු කිරීම සුදුසු ය.

 

  • විශේෂ ස්තුතිය - කඳු නගින්නෙකු වන රුක්මල් සමරජීවට  
  • මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය Read Next

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය

Realted Post

Leave a comment