බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක්

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ‘ගෙඩිගේ ඇක්වා ට්‍රේල්’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 18 වැනිදා බෝවතැන්න ජලාශය ආශ්‍රිතව පැවැත්විණි.

ලෝක සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ නාඋල ප්‍රාදේශීය සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

සීගිරිය කේන්ද්‍ර කරගනිමින් මාතලේ දිස්ත්‍රික්කයට පැමිණෙන විදේශීය සංචාරකයන් දිස්ත්‍රික්කයේ අනෙකුත් සංචාරක ගමනාන්ත වෙත ද යොමු කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව බෝවතැන්න ජලාශයේ මනරම් දර්ශන, කඳුකර භූදර්ශන සහ නිස්කලංක පරිසරය උපයෝගී කරගනිමින් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක විභවතාවන් ඇතුළත් කරමින් සකස් කළ සංචාරක සිතියම ද මෙහිදී ජනගත කෙරිණි. සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති මෙම සිතියම ඉදිරියේදී යාවත්කාලීන කිරීමට ද සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම, සංචාරක කර්මාන්තයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ භාෂා පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත මහතා සහ සුනිල් බියන්විල මහතා, නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ශාන්ත මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගි වූහ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සමිත සපුතන්ත්‍රි මහතා සහ මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සදමාලි හේවගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනවල නියෝජිතයන්, ආරාධිතයන්, ප්‍රදේශවාසීන් සහ පුහුණු වැඩසටහනේ සහතිකපත්ලාභීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

SLT-MOBITEL පාරිභෝගික සේවා සතියට The Extra Mile Read Previous

SLT-MOBITEL පාරිභෝගික සේවා සතියට The Extra Mile

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business Read Next

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business

Realted Post

Leave a comment