කැනඩාවේ සිට සිංහල සිංදු කියන

 

ලංකාවේ ජීවත් වී ටික කාලයකට විදෙස්ගත වූ විට සමහර අයට තමන්ගේ මවු භාෂාව වූ සිංහල අමතක වෙන අවස්ථා තිබේ. එහෙත් ඔවිනි තිලකරත්න කියන්නේ ලාංකීය මවුපිය යුවළකගේ දියණියක් වුවත් කැනඩාවේ ඉපදී, කැනඩාවේ පාසල් අධ්‍යාපනය ලබමින් එහිම හැදී වැඩෙන දියණියක්. ඇගේ විශේෂත්වය නම් මේ වන විට ඇය සිංහල භාෂාව ඉතා හොඳින් හසුරවනවා පමණක් නොව ගීත ගායනයටද විශේෂ දක්ෂතාවක් පෙන්වීමයි. පාසලේ අටවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඇය මේ වන විට සංගීත විශාරද විභාගයටද පෙනී සිට ඇත. එරට විශාරද විභාගයට පෙනී සිටි ළාබාලතමයා වන්නේද ඇයයි. මේ ඇය සමග කළ කෙටි පිළිසඳරකි. 
 
Q ඔයාට ගායන හැකියාව ලැබුණේ කොහොමද?
මගේ අම්මයි තාත්තයි සිංහල. අපි ජීවත්වෙන්නේ කැනඩාවේ ඔටෝවා නගරයේ. ඉස්කෝලේ ඉගෙන ගන්නේ වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් මට ගෙදරදී අම්මයි තාත්තයි එක ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ අය මට ගෙදරදී කතා කරන්නේ සිංහලෙන්. මම සංගීතය ඉගෙන ගන්න හරිම ආසයි. සංගීත විශාරද කරන්න මාව යොමු කළේ ඔවුන්.  
 
Q ළඟදි ගීත නිර්මාණයක් එළිදක්වා තිබුණා නේද? 
ඒ නිර්මාණය සාර්ථකව කළා. හොඳ ප්‍රතිචාර තිබුණා. ගීතයේ සංගීත නිර්මාණය සමන්ත පෙරේරා ගේ. ඒ වගේම පද රචනය අසංක රුවන් සාගර ගේ. මම සංගීතය මුලින්ම ඉගෙනගත්තේ දීපා හෙට්ටිගේගෙන්. ඇය ඉන්නෙත් කැනඩාවෙමයි. මායා දමයන්ති පෙරේරාගෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරනවා. හඬ පුහුණුව ලබන්නේ සමන්ත පෙරේරා ගෙන්. 
 
Q  ශාස්ත්‍රීය සංගීතයට යොමුවෙන්න හිතුවේ ඇයි?
මම හරිම ආසයි ශාස්ත්‍රිය සංගීතයට. ඒ ආසාව නිසා අම්මයි තාත්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අය තමයි මාව මේ තැනට ගෙනාවේ. සංගීතයට අමතරව කථක්, භරත සහ උඩරට නැටුම් ඉගෙන ගන්නවා. 
 
Q  ඔබ දක්ෂතා කිහිපයක්ම තිබෙන කෙනෙක්. කොහොමද පාසල් වැඩ එක්ක අනෙක් බාහිර කටයුතුවලට කාලය වෙන්කර ගන්නේ?
මේ රටේ පාසල් වැඩ කටයුතුත් එක්ක බාහිර දේවල් කරන්න කාලය වෙන්කරගන්න අපහසු නැහැ. ලංකාවේ අධ්‍යාපනය තරම් මෙහේ පාසල් වැඩ සංකීර්ණ නැහැ. හරිම සරලයි. ඒ නිසා බාහිර වැඩ කටයුතුවලට යොමුවෙන්න කාලය වගේම පාසලෙන් සහයෝගයත් ලැබෙනවා. 
 
Q  ලංකාව ගැන මොකද හිතෙන්නේ? 
මගේ ආච්චිලා, සීයලා, නෑදෑයෝ ඉන්නේ ලංකාවේ. ඉතින් මම නිවාඩුවට ලංකාවට එනවා. ලංකාව හරිම ලස්සන රටක්. ඒ වගේම මගේ ලොකු සිහිනයක් තියෙනවා ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහත්මයත් සමග ගීතයක් කරන්න. ලංකාවේ මම ආදරය කරන සංගීතවේදියෝ ගොඩක් ඉන්නවා. ඒ අතරින් උමාරියාගේ සිංදුවලට හරිම කැමතියි. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න. කවදහරි මගේ පවුලේ අයත් එක්ක ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

 

 

සටහන -  උදයංගි  
ඡායාරූප - සජීව ලක්ෂාන්

සියතින් එයත් ලස්සනයි Read Previous

සියතින් එයත් ලස්සනයි

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment