ග්‍රාම නිලධාරි භූමිකාව ගැන කෘතියක්
ග්‍රාම නිලධාරී සේවයේ භූමිකාව, වගකීම් සහ අනාගතය පිළිබඳව ග්‍රාම නිලධාරියෙකු විසින්ම රචනා කරන ලද “ග්‍රාමීය පරිපාලනයේදී ග්‍රාම නිලධාරී භූමිකාව” නමැති විමර්ශනාත්මක කෘතිය සාහිත්‍ය මාසයට සමගාමීව එළිදැක්වීමට නියමිතය.
මාතලේ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරී නීල් ප්‍රියන්ත කරුණාරත්න මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.
වසර 17ක ග්‍රාම නිලධාරී සේවා කාලය තුළ ලද දැනුම, අධ්‍යාපනය සහ ප්‍රායෝගික අත්දැකීම් පාදක කරගනිමින් රචනා කර ඇති මෙම කෘතිය තුළ ග්‍රාම නිලධාරී සේවයේ ඉතිහාසය, පරිපාලන සැකැස්ම, නෛතික තත්ත්වයන්, කාර්යභාරය, වගකීම්, නව්‍යකරණය සහ සේවාවේ අනාගතය ඇතුළු කරුණු රැසක් විවරණාත්මකව ඉදිරිපත් කර ඇත.
ග්‍රාමීය පරිපාලනය ශක්තිමත් කිරීමේදී ග්‍රාම නිලධාරීවරයා සතු සැබෑ භූමිකාව පිළිබඳව අවධානය යොමු කරන මෙම කෘතිය, එම තනතුර හා එහි විෂය ක්ෂේත්‍රය පිළිබඳව පළවන ප්‍රථම විමර්ශනාත්මක කෘතිය ලෙසද සැලකේ.
කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 04 වැනි සිකුරාදා පස්වරු 3.00ට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රධානත්වය මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා විසින් දරනු ඇත. ප්‍රධාන දේශනය මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් පවත්වනු ලබයි.
තවත් විශේෂත්වයක් වන්නේ, වසර 17ක ග්‍රාම නිලධාරී සේවයෙන් විශ්‍රාම ලබන දිනයේදීම කතුවරයා විසින් මෙම කෘතිය එළිදැක්වීමයි.
ග්‍රාම නිලධාරී සේවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට කැමැත්තක් දක්වන රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, සාහිත්‍යකාමීන් සහ පාඨක ජනතාවට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායකයෝ ගෞරවයෙන් ආරාධනා කරති.

Leave a comment