නිවැරැදි නර්තනයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්

අවුරුදු 25ක් වගේ කාලයක් ඇතුළත මට පුළුවන් වුණා කලා කෙතේ ව්‍යාපාරිකයෙක් වෙන්න. කර්මාන්තයක් විදියට මම මේ කලාව ඉහළ තලයකට ගෙනැත් තියෙනවා.

නර්තනය අද වන විට රසවින්දනයට පමණක් සීමා වුණු කලාවක් නෙවෙයි. ඉන් එහාට වාණිජත්වය ඔස්සේ දිගු ගමනක් යෑමට නර්තන කලාවට හැකි වෙලා තියෙනවා. එතැනදි හොඳ නොහොඳ දේ තෝරා බේරාගෙන නිර්මාණකරණයේ යෙදෙන්නට විශේෂයෙන්ම නිර්මාණ ශිල්පීන්ටත් අවබෝධය තිබිය යුතුයි. මේ සටහන ඒ පිළිබඳවයි. ඒ සඳහා අප හා එක්වන්නේ ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ මහතායි.

මේ වෙනකොට ශ්‍රී ලාංකේය නර්තන කලාව කෙතරම් දුරකට රැගෙන යන්න ඔබට හැකි වෙලා තියෙනවද? අවුරුදු 25ක් වගේ කාලයක් ඇතුළත මට පුළුවන් වුණා කලා කෙතේ ව්‍යාපාරිකයෙක් වෙන්න. කර්මාන්තයක් විදියට මම මේ කලාව ඉහළ තලයකට ගෙනැත් තියෙනවා. ඒ නිසා දැන් ලෝකය පුරා සංචාරය කරමින් රටට අවශ්‍ය ඩොලර් ටික අපිට පුළුවන් තරමින් ගෙනැත් දෙනවා.
 

මේ වෙනකොට ලාංකේය කලාව රසවින්දනයට වඩා වාණිජත්වයට ප්‍රමුඛස්ථානයක් දීල තියෙනවා. ඒ ගැන ඔබේ අදහස
හුඟක් වෙලාවට අනුග්‍රාහක භවතුන් හරහා ලැබෙන ඉල්ලීම් තියෙනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඒ මාධ්‍යයට ගැළපෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. එතැනදි නිර්මාණ ශිල්පීන්ට සිදුවෙනවා තමන් කරන නිර්මාණ ඒ තත්ත්වයට අනුකූල විදිහට කරන්න. මම එහි වැරැද්දක් දකින්නෙ නැහැ. කර්මාන්තය ඉදිරියට යන්න අනුග්‍රාහකයින් ඕනෑ. මාධ්‍ය තියෙන්න ඕනෑ. ඒ හරහා අවර ගණයේ දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. ඔවුන් ලංකාවේ සංකල්ප කඩා බිඳ දමන්නේ නැහැ. නමුත් ඒ හරහ මොන විදිහේ දේවල් නිර්මාණය වුණත් තවමත් අපේ රටේ සැබෑ කලාවට, සැබෑ හැඩයට, සැබෑ හඬට කැමති විශාල රසික රසිකාවියන් පිරිසක් සිටිනවා.
 

නර්තන කලාවෙන් සාර්ථක ව්‍යවසායකයෙක් දක්වා දුරක් පැමිණෙන්න ඉඩකඩක් තියෙනවාද? අනිවාර්යයෙන්ම. ඒකට හොඳම උදාහරණය මම. මම වෘත්තියෙන් නර්තන නිර්මාණ ශිල්පියෙක්. ඕනෑම නර්තන ශිල්පියෙක් සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් වුණාම මේ කර්මාන්තය තවත් විහිදෙනවා. ඒ හරහා ඇඳුම් නිර්මාණය, සංගීත නි්ර්මාණය මේ වගේ ගොඩක් ක්ෂේත්‍ර විවර වෙනවා. අනු කර්මාන්ත ඇතිවෙනවා. ඔවුන්ට එවිට ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් ගොඩ නගා ගැනීමේ හැකියාව තිබෙනවා.
 

නර්තනයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කොහොමද අඩිතාලම දාගන්න ඕනෑ? තමන් කරන දේ නිවැරදිව සහ තමන් විෂය පථයට අමතරව අනෙක් විෂයන් ඔස්සේ මේ කලාව ඉගෙන ගන්න ඕනෑ. නර්තනය උගන්වනවා කියලා නර්තනය විතරක්ම ඉගෙන ගත්තට, ඉගැන්නුවාට මදි. ඊට අමතරව චිත්‍ර කලාව, සංගීත කලාව සහ ඒ කලාවන්ගේ ශිල්පීන් ගැනත් දැනුවත්භාවයක් තියෙන්න ඕනෑ. එවැනි විෂයට පරිභාහිර දැනුම එකතු කර ගත්තම මේ විෂය තුළ සැරිසරන්න බොහොම පහසුයි. නැතිනම් ළිඳේ ඉන්න මැඬියා වගේ. අපේ හුඟක් ඉන්නේ එහෙම අය. ලෝකයේ මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ. මේ කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍ර ගැනත් දැනුම තියෙන්න ඕනෑ. එතකොට මේ හරහා සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න සහ ඒ ඔස්සේ ගමනක් යන්න පහසු වෙනවා.
 

ලංකාව වගේ රටක ස්ථාවරයක් ගොඩ නගා ගැනීම පහසුද?
ලේසි නැහැ. ගතානුගතික අදහස් තියෙන, පාරම්පරික සම්භවයක් සහිත නැටුම් ක්‍රමවේදයක් තමයි අපේ රටේ තියෙන්නෙ. ඒ වගේම කුල භේදයත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ රටේ කුල භේදය තියෙනවා. දේශපාලනයටත් කුල භේදය තියෙනවා. විවිධ වෘත්තීන්වලටත් කුල භේදය තියෙනවා. නර්තනයටත් කුල භේදය තියෙනවා. නැහැයි කියලා කිව්වට ඒක තවමත් තියෙනවා. ඉතින් ඒ වගේ බාධා රැසක් ඇතිවෙනවා. ඒ බාධා සහ අභියෝග සියුම් ලෙස අතික්‍රමණය කරලා යන්න ඕනෑ. පහසුවෙන් ඇති කරගන්න අමාරුයි ඒ වගේ ස්ථාවරයක්. නමුත් බැරි නෑ.

රටේ පවතින ආර්ථික ගැටලු කලාකරුවන්ගේ ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද එල්ල කළේ?

කලාකරුවන්ගෙ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කිසිම තැනක ප්‍රමෝෂන් එකක් කරන්නවත් මුදල් සංචිත ඉතිරිවෙලා නැහැ. ලංකාවට සංචාරකයින් ගෙන්වා ගන්න වැඩියෙන්ම යොදාගත්තේ නර්තන ශිල්පීන්. නමුත් දැන් ඒ කිසිම ප්‍රචාරණ කටයුත්තක් කරගන්නවත් මුදල් සංචිත ඉතිරිවෙලා නැහැ. ඒ නිසා රටේ ආර්ථිකයත් සමග වැටුණු පිරිසෙන් ප්‍රධානම තැනක නර්තන ශිල්පීන් සහ බෙර වාදන ශිල්පීන් ඉන්නවා.

 

නැවත ගොඩ එන්න පුළුවන් කියලා හිතනවාද? 
අපි කාලයක් වැඩ කරලා අපිට ඒ ලැබුණු දේවල් දැන් ඉන්න නර්තන ශිල්පීන්ට ලැබෙයිද කියලා කියන්න බැහැ. අපිට ලැබුණු අවස්ථා, සංචාර දැන් ඉන්න ළමයින්ට ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා නර්තන කලාවට එනවා නම් ලොකු කැප කිරීමක් තියෙන්න ඕනෑ. ජීවිතයේ ගොඩක් දේවල් අත්හරින්න පුරුදු වෙන්න ඕනෑ. එහෙම නැතිව මේක කරන්න හරි අමාරුයි.
 

කලාව සහ වාණිජත්වය ඔබේ නිර්මාණ තුළ කොහොමද භාවිත කරන්නෙ? නර්තනයට වාණිජමය ගති ලක්ෂණ කොහොමද දෙන්නෙ කියලා හිතලයි මම නිර්මාණ කරන්නෙ. ඒ නිසා සම්ප්‍රදාය නව නිර්මාණ වෙත ගෙන යන්නේ කොහොමද කියලා මම දන්නවා. ඒ ඔස්සේ මම නිර්මාණකරණයේ යෙදෙනවා. කවුරු නිර්මාණකරණයේ යෙදුනත් මේ ක්ෂේත්‍රයට එන ශිල්පීන් හරි අධ්‍යයනයක් කරලා එන්න ඕනෑ. නැතිනම් ක්ෂේත්‍රය විතරක් නෙවෙයි මේ ශිල්පීනුත් අමාරුවේ වැටෙනවා.


සටහන - ඩල්ෂිකා උමයංගනී


 

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

දඟකාරියන්ට කදිම ගවුමක් Read Next

දඟකාරියන්ට කදිම ගවුමක්

Realted Post

Leave a comment