තරුණ බව රකින රෝස පෙති

ගැහැණු ළමයි කොහොමත් රෝස මල් වලට කැමතියිනේ. ඉතින් අපි බලමු රූපලාවන්‍ය සත්කාර මොනවද මේ රෝස මලෙන් කරගන්න පුළුවන් කියලා. 

අපූරු රෝස මල් පෙත්තේ සැඟවුණු රූපලාවන්‍ය ප්‍රතිලාභ. 

රෝස පෙතිවල ප්‍රතිඔක්සිකාරක ගුණය තිබෙනවා. විටමින් සී  තියෙනවා,  විෂබීජ නාශක ගුණයෙත් තියෙනවා, තෙතමනය ස්වභාවිකව රැක දෙනවා. සමේ පැහැය රැකදෙනවා. නිරෝගී  කෙස් කලඹක් හිමිකර දෙනවා තාරුණ්‍යය රැක දෙනවා මෙවැනි ප්‍රතිලාභ රැසක් තිබෙන නිසාම තමයි අතීත රාජකුමාරිකාවන්ගේ සිට තවත් වැඩිදියුණු වෙමින් අද වෙද්දී රූපලාවන්‍ය නිෂ්පාදන වල ප්‍රධානතම අමුද්‍රව්‍යක් වී තිබෙන්නේ මෙන්න මේ රෝස මලේ තිබෙන ගුණ නිසයි. 

තෙතමනය රැකදී පැහැපත් සමක් ලබා ගැනීමට. 

අමු රෝස මල් පෙති මිටක් අඹරා එයට යෝගට් මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදාහරින්න. මෙයින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දින තුනක් කිරීම ප්‍රමාණවත්. මෙමගින් කාන්තිමත් බව ලබාදී මෘදු බව ඇති කර කුරුලෑ ද පාලනය කරවයි. 

ලප කැළැල් ඉවත් කර ගැනීමට. 

හොඳින් අඹරා ගත් රෝස පෙති තේ හැඳි දෙකකට අමු කහ යුෂ තේ හැඳි භාගයක් , මී පැණි බිංදු දෙක තුනක් ද එකතුකර මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙය ඔබට සතියකට දින තුනක් එක දිගට සිදුකරීමෙන්  මාසයක් ඇතුළත අපූරු ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා. එලෙස ලැබෙන ප්‍රතිඵල විදියට අඳුරු ලප කැළැල් ඉවත් කර සම පැහැපත් භවය වැඩිකරයි. 

හිසකෙස් ඝනකමින් වර්ධනය කර ගැනීමට. 

නැවුම්ව අඹරා ගත් රෝස මල් පති මේස හැඳි එකකට පොල් කිරි කෝප්ප භාගයක් එකතු කරල හිස් කබලේ සහ හිස කෙස් වල ආලේප කර පැය භාගයක් තබා සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.

තාරුණ්‍යය රැක ගැනීමට. 

ගිලිහී යන තාරුණ්‍ය රැක ගැනීමට නැවුම් රෝස පෙති අඹරා ගත් තේ හැන්දකට ගසා ගත් බිත්තර සුදු මදයක් එතුකර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර ස්වභාවිකවම සමෙන් වියලෙන්න තබා මද උණුසුම් වතුරෙන් ඉවත් කරන්න. මෙයත් සතියකට වරක් කිරීම ප්‍රමාණවත්. 

අභ්‍යන්තරව පානයක් විදිහට අපිට රෝස තේ එකක් හදාගන්න පුළුවන්. ස්වභාවික මල් පෙති එකතු කරගත් මෙම තේ රසවත් වගේම අපූරු ගුණයෙන් ද යුක්තයි.

උණු වතුර කෝප්පයකට නැවුම් රෝස පෙති මිටක් දමා විනාඩි පහක් පමණ එය හොඳින් තැම්බෙන්න තබා පසුව පෙරා එයට මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්න. උදෑසන සතියකට දින තුනක් පානයට ගන්න. මෙම පානය තුළින් රුධිරය පිරිසුදු වී සම පැහැපත් කර තාරුණ්‍යය රැකදි සම දීප්තිමත් කර ගන නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබාදෙයි.

සටහන - මහේශානි මීගහපොල.
අදහස් දැක්වීම - ආයුර්වේද වෛද්‍යය ඉමාෂා උඩවත්ත. 

 

 

තරුණ බව රකින රෝස පෙති Read Previous

තරුණ බව රකින රෝස පෙති

දක්ෂතාවයට අගයක්… විශිෂ්ටත්වයට කිරුළක් Diamond Excellence Awards 2026 Read Next

දක්ෂතාවයට අගයක්… විශිෂ්ටත්වයට කිරුළක් Diamond Excellence Awards 2026

Realted Post

Leave a comment