SLT සමූහයේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්
SLT සමූහය 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 10.3 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 6.5 ට සාපේක්ෂව 59.4% ක වර්ධනයකි.
බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම සහ පාරිභෝගික පදනම වර්ධනය වීම හේතුවෙන් ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් (Double-digit growth) වාර්තා වීම, පිරිවැය දැඩි ලෙස පාලනය කිරීම, ඉහළ පොලී ආදායමක් ලැබීම සහ විදේශ විනිමය ලාභ හිමි වීම යනාදී සාධක හේතුවෙන් SLT PLC සහ Mobitel යන සමාගම්වල ඉපැයීම් ඉහළ ගොස් තිබේ. වසරේ තුන්වන කාර්තුව තුළ විශේෂයෙන් කැපීපෙනෙන ප්‍රතිඵල වාර්තා වූ අතර, සමූහයේ බදු පසු ලාභය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 69.3% කින් වර්ධනය විය.
ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනය සහ පිරිවැය පාලනය හේතුවෙන් සමූහයේ ලාභදායීත්වය ඉහළ යයි
වසරේ මුල් මාස 9 සඳහා සමූහයේ ආදායම රුපියල් මිලියන 94,003 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 84,646 ට සාපේක්ෂව 11.1% ක වර්ධනයකි. ඒ අනුව නැවතත් ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් වාර්තා කිරීමට සමූහය සමත් වී ඇත. 4G සහ 5G ජාල සඳහා අඛණ්ඩව සිදු කළ ආයෝජන මෙන්ම සමූහයේ පාරිභෝගික පදනමේ ස්ථාවර වර්ධනය හේතුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් තවදුරටත් ශක්තිමත් වීම, මෙම වර්ධනයට පිටුබලය සැපයූ ප්‍රධානතම සාධකය විය.
රුපියල අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය විදුලි ගාස්තු, ඉන්ධන මිල මෙන්ම ආනයනික උපකරණ හා නඩත්තු පිරිවැය හමුවේ වුවද, වසරේ මුල් මාස 9 ක කාලසීමාව තුළ සෘජු පිරිවැය ඉහළ යාම 8.2% කට සීමා වී තිබේ. මෙය ආදායම් වර්ධනයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. දළ ලාභය 14.2% කින් වර්ධනය වූ අතර, මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 11,792 සිට රුපියල් මිලියන 15,499 දක්වා 31.4% කින් ඉහළ ගොස් ඇත.
පොලී වියදම 2.2% කින් පහළ ගොස් තිබේ. සමූහය සතුව පැවති ඉහළ ඇමරිකානු ඩොලර් සංචිත හේතුවෙන් විදේශ විනිමය ලාභය 289% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 755 ක් ලෙස වාර්තා වූ අතර, පොලී ආදායමද 65.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,113 ක් විය. බදු පෙර ලාභය 37.6% කින් ඉහළ
ගොස් රුපියල් මිලියන 13,026 ක් ලෙස වාර්තා වූ අතර, කාර්යක්ෂම බදු සැලසුම්කරණය හේතුවෙන් බදු පසු ලාභය රුපියල් මිලියන 10,306 ක් දක්වා 59.4% කින් වර්ධනය විය. ආර්ථිකයට ලබාදෙන දායකත්වයට අමතරව SLT-MOBITEL රජය වෙතද කැපීපෙනෙන සෘජු දායකත්වයක් ලබාදෙන අතර, 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ සමූහය මට්ටමින් රජය වෙත ගෙවන ලද බදු සහ ගාස්තුවල මුළු වටිනාකම රුපියල් බිලියන 30 ක් විය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය:
“2026 වසරේ 3 වන කාර්තුවේ සහ මුල් මාස 9 හි මූල්‍ය ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ, ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ වුවද SLT-MOBITEL ආදායම් වර්ධනය ශක්තිමත් ඉපැයීම් බවට පරිවර්තනය කරමින් සිටින බවයි. SLT-MOBITEL සෑමවිටම පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය, කොටස් හිමියන් සහ ප්‍රජාවන් වෙනුවෙන් එක සේ කැප වී සිටිනවා. මෙම වසරේදී අප පාරිභෝගික සේවාව, කාර්ය මණ්ඩලයේ සුභසාධනය සහ 5G, 4G සහ Fibre-to-the-home ඇතුළු තාක්ෂණයන් සඳහා විශාල ආයෝජනයන් සිදු කළ අතර, රටේ සෑම ද්විතීයික පාසලකටම ෆයිබර් සම්බන්ධතා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළා. අප තිරසාර වර්ධනයක් අත්කරගනිමින් ජාතික මෙහෙවර ඉටුකරන පුරෝගාමී සමාගමක් බවට පත් වී ඇත්තේ මෙම සමබර, බහු-පාර්ශ්වික ප්‍රවේශය නිසා බව අප තරයේ විශ්වාස කරනවා. මෙහෙයුම් කාර්යක්ෂමතාව, සුපරීක්ෂාකාරී ප්‍රාග්ධන කළමනාකරණය සහ පිරිවැය ප්‍රශස්තකරණය ඔස්සේ මෙම ප්‍රතිඵල ළඟා කරගැනීමට දායක වූ අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.”

Leave a comment