දරුවො හතරක් එක්ක මහගිරිදඹ නැගපු ගැහැනියක් - ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර
ජීවිතයේ උගත් පාඩම් එකට කැටිකොට පෙරා , සාරය ගෙන මේ මහ පොළොවට නිර්මාණ තුළින් බෙදාදුන් ගැහැනුන් වේ නම් ඒ අතළොස්සකි. දයාර්දයෙන් මුළු ලොවම දෙස බලා ඇසඟ කඳුළු මුතු කොට සිනාසුණු ඇය ප්‍රවීණ නිර්මාණවේදිනියකි. මෙවර සිරිකත ‘ඇයට ගොඩවන්නී ඇය යි. ඕ තුෂාරි අබේසේකර ය.
- ළමා විය ගෙවුණු හැටි
මම ඉපදුණේ කොළඹ වුණාට මගේ ගම වෙන්නෙ හලාවත. මම අදටත් පුදුම විදියට හලාවතට ආදරෙයි. අපි හැදෙන්නෙ නගරබදව වුණාට එක පැත්තකින් මහ මුහුදෙනුයි අනිත් පැත්තෙන් දැදුරු ඔයෙනුයි වටවෙලා තිබුණෙ. අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. අපේ ජීවිත ගෙවෙන්නෙ හලාවත කියන බහුජාතික පිරිස් ජීවත්වූ නගරයේ. පන්සල්, පල්ලි, කෝවිල් මේ හැම දෙයක්ම හැම තැනම තිබුණා. මගේ යාළුවො වුණේ දෙමළ, මුස්ලිම්, ජා, බර්ගර් වගේ වෙනත් ආගම්වල අය. මම පුංචි කාලෙම මේ සහජිවනය ඇස් දෙකෙන් දැකපු කෙනෙක්. අපි හැමෝම එක පවුලක් වගේ ගතකළේ. ඒ වගේ සුන්දර ළමාවියක් මට තිබුණා. අදටත් හීනෙන් වගේ ඒ ළමා විය ඇතුළෙ මම සැරිසරනවා.
- පාසල් කාලේ
මම ඉස්කෝලෙ ගියේ හලාවත ශාන්ත මරියා බාලිකාවට. පාසලේ දීප්තිමත් සිසුවියක්. අධ්‍යාපන කටයුතු වගේම බාහිර කටයුතුවලිනුත් ඉදිරියෙන්ම හිටියා. මට සිංදු කියන්න, නටන්න, චිත්‍ර අඳින්න වගේම ක්‍රීඩාවත් හොඳට හුරුයි. අපේ පාසල කන්‍යාරාමයක් නිසා විනය උපරිමයෙන්ම තිබුණු තැනක්. අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි මේ හැම තැනකම ගැහැනියක ලෙස පය ගහලා ජීවත්වෙන්න ඒ විනය තදින්ම බලපෑවා කියන එක.
- පාසලෙන් පස්සෙ
ඒක ටිකක් වෙනස් කතාවක්. පාසල් ගමන හමාරවෙනකොට ම මට විවාහ වෙන්න සිදුවුණා. ඒක අහමිබෙන් සිදු වූ විවාහයක්. ඒකට හේතුව තමයි මගේ අම්මයි, තාත්තයි හදිසියේ වෙන්වීම.
- ඊට පස්සෙ
මම ඒ ජීවිතයට මුහුණ දෙනවා. මට විවාහ ජීවිතය අලුත් අත්දැකීමක් තමයි. ඒත් මුහුණ දිය යුතුයි. මම කරන්නෙ මගේ හිතේ තියෙන සාංකාව මකාගන්න ලියන එක. ඒක හරි අහම්බයක්. මම තාත්තගෙ ළඟ නිරන්තරයෙන් රැඳුණු දියණියක්. මට තාත්තා මතක් වුණාම තාත්තට ලියුම් ලියනවා. ඒවා අරගෙන ගිහින් පාරෙ තිබෙන තැපැල් පෙට්ටිවලට දානවා. හැබැයි ලිපිනයක් නෑ. ඒවා කවුරු කියවනවද දන්නෙ නෑ. නමුත් මම දිගටම ඒක කළා. මම හිතන්නෙ මට ලියන්න පුළුවන් කියන එක මම හඳුනාගත්තෙ එතැනින්.
- ජීවිතය කියාදුන් සුදු කපුරු පෙති
මට ජීවිතේ කියලා දුන්නෙ, හැම දේකටම පාර පෙන්නුවෙ සුදු කපුරු පෙති. ඒ වෙද්දි මට දරුවො තුන්දෙනෙක්. අයියගෙ දරුවත් හිටියෙ මගේ ළඟ. මට ලියන්න ඕනෑකම තිබුණෙ ඒ දරුවන් ජීවත් කරවන්න. ඉතින් මම සුදු කපුරු පෙති නවකතාව ලිව්වා. ඒක මුද්‍රණය කළෙත් මමමයි. පළමු පොතෙන්ම මම මුද්‍රණ ක්ෂේත්‍රය කියන්නෙ මොකක්ද? ඒ මිනිස්සු කවුද කියන එක හඳුනාගත්තා. මම ණය වුණා. ඒත් මට සුදු කපුරු පෙති නවකතාව වෙනුවෙන් 2003 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ වසරේ ප්‍රශස්තතම යෞවන කෘතිය ලෙස සම්මාන ලැබෙනවා.
පසුව මේ කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වනවා වගේම ජාතික රූපවාහිනිය මගින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා.
- අගැයුම් සේම ගැරහුම්
සුදු කපුරු පෙති ටෙලි නාට්‍යය වාරණයට ලක්වනවා. බොහෝ අය මට චෝදනා කරනවා කෘතිය ගැන. ඇත්තටම ඒ වෙද්දි මම යාපනේ ගිහින් නැහැ. නමුත් අපි එක්ක හලාවත ජීවත් වුණේ යුද්දෙන් බැටකාපු යාපනේ ගම්වල මිනිස්සු. මට මොනතරම් දෝෂාරෝපණය කළත් තුෂාරි අබේසේකර කියන ලේඛිකාව එතැනින් මතුවෙනවා. ඒ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.
- ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට
මම දරුවන්ට උගන්වන්න ඕනැ නිසා කොළඹට එනවා. ඇවිත් මාධ්‍ය ආයතනයක රැකියාවකට යනවා. ඒක ටික දවසයි. නමුත් මට මගේ දරුවන්ව ජීවත් කරවන්න ඕනෑ. ඔවුන්ට උගන්වන්න ඕනෑ. මට පුළුවන් එකම දේ ලිවීම. ඒත් මට හිතෙනවා නවකතාවක් ලියනවට වඩා ටෙලි නාට්‍යයකට තිර පිටපතක් ලිව්වා නම් හොඳයි කියලා. ඒ වෙලාවෙ මම පැරණි තිර පිටපතක් හොයද්දි ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු කියනවා
" ඔයා පරණ ඒවා බලන්න එපා. ඔයා අලුතෙන් ලියන්න" කියලා. ඉතින් මම පළමු තිර පිටපත ලියලා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. ඒ හිතේ හයියට සහ විශ්වාසයට. ඒ " හෝපළු අරණ" . ඒ අවුරුද්දෙ හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය, හොඳම ගායනය යන සම්මාන හතරම මම එකම වේදිකාවකදි දිනාගන්නවා.
- අභියෝග
මම කලාව සහ සාහිත්‍ය ක්ෂේත්‍රය ඇතුළෙ විවිධ නිර්මාණ කරනවා. ඒවා පාඨකයා සහ ප්‍රේක්ෂකයා වැලඳගන්නවා. නමුත් මට ගැහැනියක විදියට අභියෝග කරන්න පිරිමියෙක් ආවෙ නැහැ. මම මගේ කාර්ය හරියට ම කරපු කෙනෙක්. ක්ෂේත්‍රය ඇතුළෙ විනය රැකගෙන කටයුතු කරන්න හයියක් මට තිබුණා. ඒ හයිය අදටත් තිබෙනවා.
අතීතයට එබී
ජීවිතේ ලබපු අත්දැකීම් බොහෝමයි. විඳපු දුක් බොහෝමයි. ඒවා දන්නෙ මගේ දරුවො විතරයි. මගේ දරුවො තුන්දෙනයි අයියගෙ දරුවයි එක්ක මම මහගිරිදඹ නැගපු ගැහැනියක්. කිසි කෙනෙක් අතහැරලා නෑ. අද මම ආඩම්බර මිත්තණියක්. රටට ණය නැති, අනුන්ගෙ දුකකදි හිත උණුවන දරුවො හදලා තියෙනවා. අද එයාලා මේ රටේ ඉහළ තැන්වල ජීවත්වනවා. ඒ සතුට හැර වෙන මොනවද ජීවිතේ?
Leave a comment