හිතේ හයියට ආපු ගමනක් - යොවුන් රගර් විනිසුරුවරිය

ක්‍රීඩාවෙන් ජීවිතය දිනූ කාන්තාවන් අපේ රටට අඩු නොවේ. ඒ නමුත් ඉතා අඩු වයසකදී ක්‍රීඩා තරගයක විනිසුරුවරියක ලෙස කටයුතු කර තම උපන් රටෙහි සලකුණත් තැබීමට හැකි කාන්තාවක විය හැකිනම් එය අභිමානයකි. තම යොවුන් වියේදීම රගර් විනිසුරුවරියක වී පාසල් හා ක්‍රීඩා සමාජ ඒ ශ්‍රේණිය නියෝජනය කළ  පළමු රගර් ක්‍රීඩා විනිසුරුවරිය වන්නට වරම් ලැබූ  ඇය  චරණී ලියනගේ ය. මෙවර සිරිකත ’ ඇය ’ වෙන්වන්නේ ඇයටය.

  • ක්‍රීඩාවත් සමග ගෙවුණු ළමාවිය 

මම ඉපදුණේ  කොලොන්නාවෙ. පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි මමයි අක්කයි. අපේ තත්තා පාපන්දු ක්‍රීඩකයෙක්. මමත් පුංචි කාලෙ ඉඳලම ටිකක් සෙල්ලමට බරයි. තාත්තගෙ ආභාසය මට ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉස්කෝල ඇරිලා ආව හැටියෙ කරන්නෙ ක්‍රීඩා ම තමයි. ඒ විදියට තමයි මගේ ළමා කාලය   ගෙවෙන්නෙ.

  • පාසල් කාලේ 

ඉස්කෝලෙ ගියේ දෙමටගොඩ ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට. ඉස්කෝලෙ මම දක්ෂ ක්‍රීඩිකාවක්. වැඩි හරියක් හිටියෙ පිට්ටනියෙම තමයි. අධ්‍යාපන කටයුතුවලටත්  මුල්තැනක්  දුන්නා. හැබැයි මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ පාසල්  ගමනට සමුදුන්නා.

  • ඒ  ඇයි? 

මම මුල් කාලෙ ගොඩක් සම්බන්ධ වුණේ මලල ක්‍රීඩාවලට. ඒ නිසා මට ඕනැ වුණා හමුදාවට බැඳෙන්න. එතැනින් ක්‍රීඩා කරලා ඉදිරියට යන්න. ඒ නිසා මම 2009 වසරේදි යුද හමුදාවට බැඳෙනවා. එහි සේවය කරන අතරේ තමයි ක්‍රීඩා කටයුතු කරන්නෙ. රගර් ක්‍රීඩාවට යොමුවන්නේ එහිදී තමයි. එහිදී  එම  ක්‍රීඩාව පුරුදු  පුහුණුවෙන්න බොහෝදෙනකුගේ සහයෝගය  මට ලැබෙනවා. මගේ මුල් පුහුණුකරුවන් වන්නේ නිලුපුල් ප්‍රියංකර සර්  සහ නිසල්  මීපගේ සර්. උපාලි වික්‍රමසිංහ සර්   යටතේත් මම  පුහුණුවිම් කරනවා. අනිල්  ජයසිංහ සර්, ටෝනි  අමිත් සර්ගේ  මඟ  පෙන්වීම මට හැම  වෙලාවකම  ලැබෙනවා. මම මුලින්ම 2015 වසරේ අන්තර්  ඒකක රෙජිමේන්තු රගර් තරගාවලියට තමයි මුලින්ම  ක්‍රීඩා කරන්නෙ. ඇත්තටම මට ඕනැ වු‍ණෙත්   ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න.

  • පළමු විනිසුරුවරිය

රගර් ක්‍රීඩාවෙන්  ඉවත්වෙලා ටික දවසක් ඉන්න අතරෙ තමයි වත්මන් සභාපති ඩින්කා පීරිස් මහත්තයා මට කතාකරන්නෙ මේ වගේ දෙයක් කරන්න පුළුවන්  නේද කියලා. මම මුලින්ම විනිසුරුවරියක ලෙස කටයුතු  කළේ කොග්ගල  පැවති රගර් තරගයක්. 2022 වසරේ කුඩා දරුවන්ගේ රගර් තරගයකත් විනිසුරුවරියක ලෙස කටයුතු කළා. ඊට පස්සෙ 18න් පහළ 14න් පහළ රග්බි තරගවලටත්  එක්වුණා. මම ඒ  ශ්‍රේණියේ තරගයක විනිසුරුවරියක ලෙස කටයුතු කරන්නෙ පසුගියදා පැවැති නාවික හමුදා සහ මහනුවර රගර් කණ්ඩායම් අතර පැවැති තරගයයි. ඇත්තටම ඒක විශාල අභියෝගයක්. නමුත් මම ඒක බාරගන්නවා. පාසල් හා ක්‍රීඩා සමාජ ඒ ශ්‍රේණිය නියෝජනය කළ  පළමු රගර් ක්‍රීඩා විනිසුරුවරියවීම ඇත්තටම සතුටක්. 

  • අභියෝග 

අභියෝග ඕනෑතරම් තිබුණා. ඒවාට හැම අවස්ථාවකම මුහුණ දුන්නා. එහෙම මුහුණ දෙන්න හයිය මට තිබුණා. හමුදා ජීවිතය වුණත් ගැහැනු ළමයකුට අභියෝගයක්නෙ.    නමුත් මම ඒ ජීවිතයත් ලස්සන කර ගත්තා. කාන්තාවට ඕනෑම තැනකදී ඉදිරියට යන්න ඕනැ වෙන්නෙ විශ්වාසය හා ශක්තිය. බොහෝ කාන්තාවන් මේ  වගේ අභියෝග බාරගන්න මැළි  වෙන්නේ තමන්ට කරන්න බැරිවෙයි, සමාජය විවිධ දේවල් කියයි කියන බයට. නමුත් එහෙම නෑ. උත්සාහය තිබේනම් තමන් පිළිබඳ ව හොඳ ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් මේ දේවල්වලට මුහුණ දෙන එක අමාරු  නෑ. 

  • මඟපෙන්වූ අය

මගේ පළමු ගුරුවරයා මගේ තාත්තා. ඔහුත් අම්මත් අක්කත් තමයි අදටත් මගේ පසුපසින් ඉන්නේ. ඒ වගේම මේ ගමන මේ තරම් දුර එන්න උදව් කරපු  මඟ   පෙන්නපු අය  විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර අනිල් ජයසිංහ සර්, ටෝනි  අමිත්  සර්,  වත්මන්  සභාපති ඩින්කා පීරිස් සර් ගෞරවයෙන් සිහි කරනවා.
ඒවගේම තමයි 2023 -2024 එසයිමන්ට් කොමිටි  එක මම ගැන ලොකු විශ්වාසයක්  තියාගෙන කටයුතු කළා. නවසීලන්ත කණ්ඩායමේ විනිසුරුවරුවන සෑම්  සීලෝස් , සෑම් තොම්සන් , ශේන් යන මහත්වරුත් එම පිරිස  සම්බන්ධ කර දුන් ක්‍රිෂාන් මහතාවත්  මේ වෙලාවෙ ආදරයෙන් සිහි කරනවා. මොකද ඔවුන් මගේ මේ ගමනට දුන් සවිය අපමණයි. ඔවුන්ගෙන් මට ඉගෙනගතයුතු බොහෝදේවල් තිබුණා.   
බලාපොරොත්තු
විවාහවෙලා හොඳ පවුල්  ජීවිතයක් ගතකරන අතරේ වචනයකින් හෝ  කාටත් පුළුවන්  විදියට හයියක් වෙන්න  කැමතියි. විනිසුරුවරියක  ලෙස තවත් ඉදිරියට යා යුතුයි.

 

SIRIKATHA WEDDING - CHATHURANGA & AYESHA Read Previous

SIRIKATHA WEDDING - CHATHURANGA & AYESHA

මෙයාව මතකද?  කාටවත් නොකියපු රැට්ටගේ රහස් රැට්ටගේ කෙල්ල කවුද? Read Next

මෙයාව මතකද? කාටවත් නොකියපු රැට්ටගේ රහස් රැට්ටගේ කෙල්ල කවුද?

Realted Post

Leave a comment