පිළිකා සහ අපේ ජාන අතර සම්බන්ධතාවයක් තියෙනවාද?
පිළිකා සහ අපේ ජාන අතර සම්බන්ධතාවයක් තියෙනවාද?
ඔබේ පවුලේ කෙනෙකුට පිළිකා රෝගී තත්ත්වයක් ඇති වුවහොත් ජානමය බලපෑම් මත එය පවුලේ අනෙක් සාමාජිකයින්ට වැළඳිය හැකිද යන්න වර්තමානයේ බොහෝ දෙනෙක්ට පවතින ගැටලුවකි.
"අපේ අම්මාට නැත්නම් තාත්තාට පිළිකාවක් තිබුණා, මටත් ඒක හැදෙයිද?" නැතහොත් "අපේ පවුලේ කාටවත්ම පිළිකා තිබිලා නැහැ, ඒත් මට හැදුණේ ඇයි?" යන්න සමාජයේ බොහෝ දෙනෙකු තදින්ම කම්පනයට හා කුතුහලයට පත්කරන ප්‍රශ්නයකි. පිළිකා රෝගය සහ පාරම්පරික ජාන අතර ඇති සැබෑ සබඳතාවය කුමක්ද? ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක ඇත්ත මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරනු ඇත
ජාන විකෘතිතාවය යනු කුමක්ද?

පිළිකාවක් හටගැනීමේ මූලිකම පදනම වන්නේ ශරීරයේ සෛලවල සිදුවන ජාන විකෘතිතාවය (Gene Mutation) යි. අපගේ ශරීරයේ සෛල වර්ධනය වීම සහ බෙදීම පාලනය කරන්නේ ජාන මගිනි. යම් හෙයකින් මෙම ජානවල විකෘතිතාවයක් හෙවත් වෙනස්වීමක් සිදු වුවහොත්, සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට පටන් ගනී. මෙම අසාමාන්‍ය සෛල වර්ධනය අවසානයේ පිළිකාවක් බවට පත්වේ.
පාරම්පරික ජාන සහ අවදානම
මෙම ජාන විකෘතිතාවයන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදුවිය හැක:
1. පාරම්පරික ජාන (Traditional / Inherited Genes):දෙමාපියන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ට උරුම වන ජාන විකෘතිතාවයන්ය.
යම් හෙයකින් ඔබේ පවුලේ අයෙකුට ඇත්තේ මෙවැනි පාරම්පරික ජාන විකෘතිතාවයක් නම්, ඔබටද පිළිකාවක් වැළඳීමේ යම් අවදානමක් පවතී.
2. පාරම්පරික නොවන ජාන විකෘතිතා:පවුලේ කිසිවෙකුට පිළිකා නොතිබුණද, පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ පරිසරය හෝ වෙනත් හේතූන් මත සෛලවල ජාන විකෘති විය හැක. පවුලේ කිසිවෙකුට පිළිකා නොතිබියදීත් යමෙකුට පිළිකාවක් වැළඳෙන්නේ මෙන්න මේ හේතුව නිසාය.
පවුලේ කෙනෙකුට පිළිකාවක් තිබූ පමණින් ඔබට අනිවාර්යයෙන්ම පිළිකාවක් හැදෙන්නේ නැත. එමෙන්ම පවුලේ කාටවත් නොතිබූ පමණින් ඔබට නොහැදී තිබෙන්නේද නැත
අනවශ්‍ය බිය හෝ නොසැලකිලිමත්කම ඇතිකර ගන්න එපා ..
පවුලේ කෙනෙකුට පිළිකාවක් තිබූ පමණින් තමන්ටද අනිවාර්යයෙන්ම පිළිකාවක් හැදෙනවා යැයි සිතා මානසිකව ඇදවැටීම හෝ අසහනයට පත්වීම නොකළ යුතුය. එලෙසම, "අපේ පවුලේ කාටවත් පිළිකා නැහැ, ඒ නිසා මට කවදාවත්ම හැදෙන්නේ නැහැ" කියා අධික ලෙස සැහැල්ලුවට සිතීමද වරදකාරීය . සෑම විටම අවදානම තේරුම් ගෙන සුපරීක්ෂාකාරී වීම වැදගත් වේ.
පිළිකා හටගැනීමට බලපාන වෙනත් හේතු
වෛද්‍ය විද්‍යාවට අනුව පිළිකාවක් හටගැනීමට නියමිතම එකම හේතුව තවමත් නිශ්චිතවම සොයාගෙන නැතත්, ඊට මුල්විය හැකි ආසන්න ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගෙන ඇත:
මද්‍යසාර (Alcohol) භාවිතය:අධික ලෙස මත්පැන් පානය කිරීම.
දුම්කොළ සහ දුම්පානය (Tobacco & Smoking):සෛල විකෘතිතාවලට බලපාන ප්‍රධාන සාධකයකි.
රසායනික ද්‍රව්‍ය (Chemicals): විෂ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම.
ශරීරගත වන විෂබීජ:අප නොදැනුවත්වම දීර්ඝ කාලයක් තිස්සේ ශරීරය තුළ පවතින ඇතැම් වෛරස් හෝ බැක්ටීරියා (විෂබීජ).
ප්‍රතිශක්තිය හීන වීම:ශරීරයේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිය) අඩු වීම සහ නිතර නිතර රෝගාබාධවලට ලක්වීම.
අසංතෘප්ත හා දුර්වල පෝෂණය:නිසි පෝෂණය නොලැබීම නිසා සෛලවල නිරෝගීභාවය බිඳවැටීම.
පිළිකාවලින් ආරක්ෂා වීමට කළ යුතු දේ
නිවැරදි ආහාර රටාව:සෞඛ්‍ය සම්පන්න, පෝෂදායී ආහාර වේලකට පුරුදු වීම.
පිළිකාකාරක වලින් ඈත් වීම:දුම්පානය, මත්පැන් සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම.
ශාරීරික වෙනස්කම් ගැන සැලකිලිමත් වීම: ශරීරයේ යම් නොපුරුදු වෙනසක්, ගෙඩියක් හෝ අසාමාන්‍යතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
පූර්ව හඳුනාගැනීම: ඔබ අවදානම් කාණ්ඩයක සිටී නම්, නිසි පරිදි පරීක්ෂණ සිදුකර ගනිමින් අසාමාන්‍ය සෛල වර්ධනයක් ඇත්දැයි මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම.
ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම උතුම්ය
අප ජීවත් වන වටපිටාව තුළ නොදැනුවත්වම ජාන විකෘතිතාවලට මුල් විය හැකි එකී කාරක ද්‍රව්‍යයන්ගෙන් ඈත්ව සිටීම අපට කළ හැකි හොඳම දේය. යම් රෝගයක් වැළඳී ඊට ප්‍රතිකාර කිරීමට වඩා, රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීම සෑම විටම බුද්ධිමත්ම පියවරයි.
උපුටා ගැනීම :ලංකාදීප online හෙද අරණ
සටහන: අංජු බණ්ඩාර

Leave a comment