දල රළ අතරේ මැවුණු ’’මාරියා ’’ සම්මානිත වෙයි
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ සයුර මතදී සම්පූර්ණයෙන්ම රූපගත කිරීම් නිමකළ සිනමා නිර්මාණය ලෙස " මාරියා " සිනමා වංශ කතාවට එක්වන්නේ , ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය තුලිනි.
"මාරියා" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ සියළු රංගන ශිල්පීන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සහ එහි ගීත එළිදැක්වීමේ විශේෂ උත්සවයක් පසු ගියදා පැවත්වින.
ඒ , වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කරමින් " මාරියා " චිත්‍රපටය හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීම නිමිතිත්තෙනි.
මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ , රංගනයෙන් දායක වූ සියළුම ශිල්පීන් හොඳම නළුවන් ලෙස එකවර සම්මානයට පාත්‍ර වීමයි. ඒ අනුව මහේන්ද්‍ර පෙරේරා ,හේමාල් රණසිංහ , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරි කුමාර දසුන් පතිරණ සහ සුරන් දසනායක මෙලෙස සම්මානිත විය. " මාරියා " චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකව , සිනමා සහ කලා ක්ෂේත්‍රයෙන් අකලට සමුගත් ප්‍රවීණ රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්ට හිමි සම්මානය ඔහුගේ ආදරණීය බිරිඳ සහ පවුලේ ඥාතීන් විසින් ලබාගන්නා ලදී. ඔවුනට සම්මාන පිරිනැමීම සිදුවූයේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ රංගනවේදිනී අනෝජා වීරසිංහ සහ ජාත්‍යන්තරය ජයගත් ප්‍රවීණ නිර්මාණවේදී චන්ද්‍රන් රත්නම් මහත්ම ,මහත්මීන්ගේ සුරතිනි.
එසේම , " මාරියා " රුසියාවේ පැවැති යල්ටා අන්තර්ජාතික සිනමා උළෙල යුරේෂියන් බ්‍රිජ් ( Yelta Eurasian Brige ) සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය , ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ග්‍රීන්රෝස් සම්මානය ද හිමි කරගත් අතර , චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනය ( International Federation Of Film Producers Association ) , රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල සහ ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක් වන ලෙස සැලකෙන, ආසියාවේ පැරණිතම සිනමා උළෙල වූ 54වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහාද "මාරියා" නිර්දේශ වී ඇත.
බහුදින ධීවර යාත්‍රාවක් තුළ ,පුරා මසකට අධික කාලයක් ඉමක් නොපෙනෙන ගැඹුරු මුහුදේ සියළු රූපගත කිරීම් සිදු කළ කාර්මික පිරිස වන්නේ කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල , වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි සහ චිත්‍රපටයේ රංගන ශිල්පීන් , ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව ඇති " මාරියා" ඉන්ද්‍රජිත් පෙරේරාගේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි.මෙය සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති සිනමා කෘතියකි .
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
Leave a comment