රිෂිනි වීරරත්න වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකීය මාධ්‍ය අවකාශයේ ප්‍රමුඛ චරිතයක් වන රිෂිනි වීරරත්න ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 සම්මාන උළෙලේදී ආයතනික සහ වෘත්තීය අංශයට අදාළ  වූ සම්මානයෙන් පිදුම් ලැබුවාය. තම ක්ෂේත්‍රයන්හි දිගුකාලීන සමාජ හා ආර්ථික බලපෑමක් ඇති කිරීමට සමත් වන විශිෂ්ට ශ්‍රී ලාංකික කාන්තාවන් මෙම සම්මාන මඟින් ඇගයීමට ලක් කරනු ලැබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරුවරුන් එකොළොස්දෙනෙකුගෙන් සමන්විත වූ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඇයගේ සුවිශේෂී නායකත්වය වෙනුවෙන් රිෂිනි වීරරත්න මෙම සම්මානය සඳහා තෝරා ගන්නා ලදී.  


මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දශකයකටත් වැඩි කාලයක අත්දැකීම් වලින් සමන්විත රිෂිනි වීරරත්න, දැනට ද සන් (ඩේලි මිරර්) හා හායි ඔන්ලයින් හි කර්තෘවරිය ලෙසද  විජය පුවත්පත් සමාගමේ සමාජ මාධ්‍ය අංශයේ  ප්‍රධානියා ලෙසද සේවය කරයි. සමාජ මාධ්‍ය ප්‍රධානි භූමිකාව තුළ, ඇය ඩේලි මිරර් ඔන්ලයින්, ලංකාදීප ඔන්ලයින්, ටැමිල් මිරර් ඔන්ලයින්, සහ ඩේලි එෆ් ටී ඔන්ලයින් ඇතුළු ඉහළ තලයේ සමාජ මාධ්‍යජාලා  රැසක් සමාජ මාධ්‍ය උපායමාර්ග සමඟින් සාර්ථකව මෙහෙයවයි.  ඇය සිය නායකත්වය යටතේ ජනතාව විශාල වශයෙන් පරිශීලනය කරන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නවීන ඩිජිටල් තාක්ෂණය හා අන්තර්ගතයන් භාවිතයෙන්  ජනතාවට ලබා දීමට කටයුතු කරයි.


දේශීය හා ගෝලීය වශයෙන් කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරමින් ඔවුන් සවිබල ගන්වන, සමානාත්මතාවය සහ කාන්තා නියෝජනය ආදිය පිළිබඳ පුළුල් කතිකාවතක්  ගොඩනැගීමට සමත්ව ඇති ‘She Can’ ලිපිය පිටුපස  සිටිය දැවැන්ත හඬ ද ඇය වේ. 

ඇයගේ ලිපි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ජීවිතය, විනෝදාස්වාදය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් විශේෂාංග ඇතුළු විවිධ මානයන් ඔස්සේ විහිදී යයි.

කොළඹ වයිචර්ලි ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන ඇය එස්.ඕ.ඒ.එස් -  ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්  එල්.එල්.එම් උපාධියද  එක්සත් රාජධානියේදී එල්.එල්.බී. (ගෞරව) නීති උපාධියද ලබාගෙන ඇත.

සමාජ වෙනසක් හා සමාජ සවිබලගැන්වීම වෙනුවෙන්ද යහපත් සමාජ සබඳතාවක් වෙනුවෙන්ද ප්‍රබල මෙවලමක් මාධ්‍ය භාවිතයෙහිලා රිෂිනි වීරරත්නගේ කැපවීම මෙම සම්මානය මඟින් ලොවටම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 අවසන් මහෝත්සවයේ දී ඇය වෙනුවෙන් ඇයට හිමි සම්මානය ලබා ගැනීමට ඇගේ මව වන ශාරිකා වීරරත්න මහත්මිය සම්බන්ධ වී සිටියාය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Next

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

Realted Post

Leave a comment