සිංගප්පුරුවේ සහ මැලේසියාවේ ගිහිපැවිදි දූත පිරිසක් ජනාධිපති ලේකම් හමු වෙති

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන මෙරටට වැඩම කළ සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය ආචාර්ය කේ. ගුණරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සිංගප්පුරුවේ සහ මැලේසියාවේ ගිහිපැවිදි දූත පිරිසක් අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම්  කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට එම දූත පිරිස ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින බැවින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සඳහා විදේශීය සංගම් සහ දානපතියන්ගේ සහාය ලබා ගැනීමට තම සංගමය ඇතුළු කණ්ඩායම ස්ව-කැමැත්තෙන්ම ඉදිරිපත් වූ බව ආචාර්ය කේ. ගුණරතන ස්වාමීන් වහන්සේ මෙහිදී පැවසූහ.

එසේම, විපතට පත් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර කඩිනමින් ලබා දීමටත් රජය ක්‍රියාත්මක කරන Rebuilding Sri Lanka වැඩසටහනට දිගුකාලීන සැලැස්මක් යටතේ සහාය ලබා දීමටත් විදෙස් නියෝජිතයෝ මෙහිදී එකඟතාව පළ කළහ. විපතට පත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් දෙකක් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත බවද එම දූත පිරිස වැඩිදුරටත් සඳහන් කළහ.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, ඉදිරියේදී යළි මෙවන් තත්ත්වයක් ඇති නොවීමට විධිමත් නගර  සැලැස්මක් ඔස්සේ ජනතාව පදිංචි කර වීමට පියවර ගන්නා බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා මූලික එකඟතාවක්ද මෙහිදී දෙපාර්ශ්වය විසින් ඇති කර ගන්නා ලදී.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජයීය) කපිල සෙනරත්

සිංගප්පූරු මහා කරුණා බෞද්ධ සංගමයේ ලේකම් ඩයානා ලී (Diana Lee), සිංගප්පූරු සිංහල බෞද්ධ සංගමයේ ලේකම් රංජනී සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු දූත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment