26 වැනි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී පසුගිය  (01) දින සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

රාජකාරී භාරගැනීමට පෙර නව යුද්ධ හමුදාධිපති විසින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේදී නව යුද්ධ හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, පසුව සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය ධූරයේ රාජකාරි අරඹන ලදි.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න 1990 ජුලි මස 14 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට එක්වන ලදි. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිත්‍ය පාඨමාලා අංක 34 යටතේ මූලික යුද පුහුණුව අවසන් කිරීමෙන් පසු 1992 ජුනි මස 06 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත වන ලදි.  

දශක තුනක් පුරා විහිදී ගිය කීර්තිමත් හමුදා දිවිය තුළ ඔහු විවිධ අණ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු හොබවා ඇත.

අණදෙන නිලධාරියෙක් වශයෙන් ඔහු විසින්, අණදෙන නිලධාරි 16 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, බලසේනාධිපති 551 පාබල බලසේනාව, සේනාංකාධිපති 23 පාබල සේනාංකය, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යන තනතුරු හොබවන ලදි. 

මාණ්ඩලික නිලධාරියෙක් වශයෙන් ඔහු විසින් 211 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), යුද්ධ හමුදාධිපතිගේ යුද සේවා සහකාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානගේ ලේකම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යන තනතුරු හොබවා ඇත.

යුද අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත්‍රය තුළදී සුවිශේෂි වගකීම් රැසක් උසුලා ඇති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිලධාරි උපදේශක හා ප්‍රධාන උපදේශක, නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ උපදේශක හා කෙඩෙට් නිලධාරී අංශයේ අණදෙන නිලධාරී වශයෙන් උපදේශණ හා අණදීමේ තනතුරු රැසක් හොබවමින් යුද්ධ හමුදාව සඳහා අනාගත නිලධාරීන් රැසක් පුහුණු කිරීමෙහිලා ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.

තවද, වත්මන් යුද්ධ හමුදාධිපති ලෝක සාමසාධක මෙහෙයුම් සඳහා ද දායකත්වය ලබාදෙමින් හමුදා නිරීක්ෂකයෙකු ලෙස බටහිර සහරාවේ සාමසාධක රාජකාරී සඳහා එක්ව තිබේ. 

එසේම යුද්ධ හමුදාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙබ වූ අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ වර්තමාන කර්නල් සේනාවිධායක ධූරය ද හොබවයි.

ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය (ප්‍රථිත්‍රස්ත ප්‍රතිපත්ති සහ උපාය මාර්ග) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කරගෙන ඇත.

ඔහු විසින් ලබා ඇති උසස් හමුදා අධ්‍යනයන් අතරට කාලතුවක්කු තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, උසස් කාලතුවක්කු පාඨමාලාව - පාකිස්ථානය, හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව - ශ්‍රී ලංකාව, බළඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය,  සහ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - ශ්‍රී ලංකාව යන පාඨමාලාවන් ඇතුලත්වේ.

තම වෘත්තීය ප්‍රවීණතාව තවදුරටත් වර්ධනය කරගනිමින්, ජාත්‍යන්තර වශයෙන් සම්මන්ත්‍රණ සහ පුහුණු වැඩසටහන් රැසකට ද ඔහු සහභාගි වී ඇත. ඒ අතර, 2014 වර්ෂයේ ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති ජකර්තා ජාත්‍යන්තර ආරක්ෂක සාකච්ඡාව, 2017 වර්ෂයේ තායිලන්තයේ බැං සෑන් හි පැවති බහුජාතික සැලසුම් වර්ධන කණ්ඩායමේ ටෙම්පස්ට් එක්ස්ප්‍රස් 31 අභ්‍යාසය සහ බහුජාතික හමුදා ස්ථාවර මෙහෙයුම් ක්‍රියාපටිපාටි වැඩමුළු සහ 2026 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනොලුලු හි ඩැනියෙල් කේ. ඉනෝයේ ආසියා-පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය මගින් මෙහෙයවන ලද දේශසීමාන්තර ආරක්ෂක සහයෝගිතා පාඨමාලාව ද ඇතුළත්ය.

එසේම, සටන් බිමේ ප්‍රදර්ශනය කළ අසමසම වීරත්වය වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් දෙවරක් රණශූර පදක්කමින්ද, යුද්ධ හමුදා රාජකාරියේදී දැක්වූ විශිෂ්ටත්වය සහ නිකැලැල් සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමින්ද පිදුම් ලබා ඇත.

යුද අධ්‍යයන ක්ෂේත්‍රයට ද සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින්, "The Impact of Changing External Conditions on Counter Insurgency: The Sri Lankan Experience" නම් ග්‍රන්ථය ඔහු විසින් රචනා කර ඇත.

වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය සමඟ විවාහ වී සිටින ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පුතණුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.

Chicken වෙනස් රහකට, වෙනස් හැඩයකින් Read Previous

Chicken වෙනස් රහකට, වෙනස් හැඩයකින්

විහඟ ප්‍රේමය අගෝස්තු 07 තිරයට එක්වෙයි Read Next

විහඟ ප්‍රේමය අගෝස්තු 07 තිරයට එක්වෙයි

Realted Post

Leave a comment