ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිවෘද්ධිය සඳහා ඉන්දියාවේ නොමඳ සහයෝගය
ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපනික, මානව සංවර්ධන, ළමා හා කාන්තා ආදී ධනාත්මක සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ නොමඳ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා පවසයි.
ඉකුත් වර්ෂයේදී සිදුකළ එවැනි සහයෝගාත්මක වැඩසටහන් ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඉන්දීය රජයේ වියදමින් රුපියල් මිලියන තුනක වියදමින් මහනුවර පේරාදෙණීය හින්දු විද්‍යාලය සඳහා පාසල් උපකරණ බෙදාදීම නිමිත්තෙන් අද (15) පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
පේරාදෙණිය හින්දු විද්‍යාලයේ දූ දරුවන් සඳහා සංගීත භාණ්ඩ, පුස්තකාල පොත් පත්, ක්‍රීඩා, පරිගණක ආදී උපකරණ හා මෙවලම් තොගයක් පරිත්‍යාග කිරීම මෙහිදී සිදුවිය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඈත අතීතයේ සිටිම සංස්කෘතික බැදීමක් පවතින බවත් ඒ බැදීම මේ වන විට වඩාත් ශක්තිමත් වී ඇතැයි ද කීවේය.
ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා වතුකරයේ ජනතාව සඳහා ඉකුත් වර්ෂයේදී රුපියල් බිලියන 02ක වියදමින් නිවාස යෝජනා ක්‍රමයක් දියත් කළ බව ද කීවේය. වතු ආශ්‍රිත අධ්‍යාපනය නංවාලීම සඳහා ඉන්දිය රජයේ මැදිහත්වීම මත සුහුරු පංති කාමර 60ක් සිසු අයිතියට පත් කළ බව ද මහ කොමසාරිස්වරයා කීවේය.
එම ප්‍රදේශවල ගුරුවරුන්ගේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය අයුරින් මෙරට ජනතාවගේ ධානාත්මක සංවර්ධනය සඳහා පියවර ගන්නා බවත් හෙතෙම පැවසුවේය. එමෙන්ම නුවරඑළීය සීතා අම්මාන් කෝවිල සංවර්ධන කිරීම මගින් ආගමික බැදීම ශක්තිමත් කර ගැනීම මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනිම අපේක්ෂා කරන බව ද සන්තේෂ ජා මහතා ප්‍රකාශ කළේය.
දෙරට අතර සහෝදරාත්මක බැදීම තව දුරටත් වර්ධනය කර ගැනිම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ඉන්දියාව දියත් කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දීය සහකාර මහ කොමසාරිස් වී.එස්. සාරන්‍යා මහත්මිය, හින්දු විදුහලේ විදුහල්පති එල්. රාමචන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Leave a comment