කැමතිම දේවල් පමාවෙලා ලැබුණත් මම සතුටින් - ගයාත්‍රි පැල්පොල

 
නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ. 

  • නම - ගයාත්‍රි පැල්පොල
  • පවුලේ තොරතුරු -

මම විවාහකයි. සැමියා නවීන් පැල්පොල. දුව යෙහාරා පැල්පොල. දුවට දැන් අවුරුදු 6 යි. සැමියා ව්‍යාපාරිකයෙක්. අද කලාකාරිනියක් විදියට මම කරලියේ ඉන්නවා නම් ඒ මගේ සැමියා නිසයි. 

  •  ගයාත්‍රිගේ පළමු ටෙලි නාට්‍යය පාරදිගේ ද?

නැහැ. ශිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු අග්නි පියාපත් ටෙලි නාට්‍යය. මගේ දුවත් අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ මගේම දුව විදියට රඟපෑවා. මේ දවස්වල මාව වැඩිපුරම දකින්න ලැබෙන්නේ පාරදිගේ ටෙලි නාටයයේ වගේම අයි.ටී.එන්. එකේ විකාශනය වන හීනයකි මේ ආදරේ ටෙලි නාට්‍යයෙන්. 

  • එකපාරටම ප්‍රේක්ෂකයෝ ගයාත්‍රිව හොයන්න ගත්තේ

පාරදිගේ නාට්‍යයේ අරවින්දි නිසා. මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ අරවින්දිගේ චරිතයට. ඇත්තම කියනවා නම් ගයාත්‍රි පැල්පොල කියන්නේ කවුද කියලා කට්ටිය හොයන්න ගත්තේ පාරදිගේ ටෙලි නාට්‍යයේ අරවින්දි චරිතය නිසා. මේ නිර්මාණයට මාව දායක කරගත් ශිවගුරුනාදන්, සද්ධාමංගල යන මහත්වරුන්ට වගේම චාමර අයියාටත් ස්තූති කරනවා. 

  • රංගනයට එන්න කලින් ගයාත්‍රි වාත්තීය ලෙස කළේ නිරූපණයද?

මගේ එකම හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි ඒ හීනයට යන්න මට ගෙදරින් අවසර ලැබුණේ නැහැ. මම පවුලේ එකම දරුවා නිසා තාත්තාට ඕනෑ වුණේ එයාලා ළඟම මාව තියාගන්න. ගුවන් සේවිකා වාත්තියට පිවිසෙන්න දෙවරක් මම අයදුම්පත් දැම්මා. ඉන්ටර්විව් සමත් වුණත් තාත්තා ඒ අවස්ථා දෙකේදීම මගේ ගමන නැවැත්තුවා. ඊට පස්සේ මම දුරකථන සමාගමක පාරිභෝගික සේවා අංශයේ වසර 10 ක් සේවය කළා.

  •  රැකියාවට සමුදුන්නේ?

කොහොමත් විවාහ වෙලා දරුවෙක් ලැබුණු දවසක මම රැකියාවෙන් ඉවත් වෙනවා කියන තීරණයේ හිටියා. මගේ දරුවා ලැබුණාට පස්සේ වසර 10 ක වෘත්තීය ජීවිතයට සමුදුන්නා. 

  • ගයාත්‍රි රංගනය, නිරූපණය පටන් ගන්නේ මවක් වුණාට පස්සෙද?

ඔව්... දවසක් මම දැක්කා එක්තරා නිරූපණ තරගයකට දැන්වීමක් දාලා තියෙනවා. එතකොට බබාට අවුරුදු දෙකහමාරයි. මම සැමියාගෙන් ඇහැව්වාම ඒ නිරූපණ තරගයට යන්නද කියලා ඔහු අවසර දුන්නා. නිරූපණය පැත්තට විවාහ වෙන්න කලිනුත් ආසාවක් තිබුණාට තාත්තා අකමැකි වේවි කියලා ඒ ආසාව හිතේ තියාගෙනම හිටියා. සැමියාත් අවසර දෙයි කියලා හිතුවෙ නැහැ. හැබැයි අවසර දුන්නා. 
හුඟක්දෙනා හිතනවා අම්මා කෙනෙක් වුණාට පස්සේ අපි හැමදේම අතාරින්න ඕනෑ, ඒවා අපිට කරන්න බැහැ කියලා. මම ඒ විදියට කිසිම වෙලාවක ඉන්න කැමැති වුණේ නැහැ. වගකීම්වලින් පිරුණා කියලා කිසිම වෙලාවක ගැහැනිය තමන්ගේ ආසාවල් හිර කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි මට වාසනාවකට මාව තේරුම් ගත් සැමියෙක් ලැබුණා. 

  •  රූ රැජින කිරුළ ගැනත් කියමු....

වසර 2019 වසරේ මිසිස් යුනයිටඩ් නේෂන් ශ්‍රී ලංකා කියන රූ රැජින තරගාවලියේ මිසිස් යුනයිටඩ් නේෂන් ඔෆ් ශ්‍රී ලංකා කිරුළ මට හිමි කරගන්න අවස්ථාව ලැබුණා. මලිත් රණසිංහ තමයි මේ තරගාවලිය සංවිධානය කළේ. මම රඟපෑමට එකතු වෙන්නේ 2020 වසරේදිි.

  •  මවක් වෙලා ශරීරයේ හැඩය වෙනස් වුණාට පස්සේ නිරූපණයට එන්න හිතුනේ ඇයි?

දරුවා ලැබෙන්න ඉන්නකොට මාව හුඟක් වෙනස් වුණා.  නිරූපණ තරගයට ගියෙත් දරුවාට කිරි දෙන කාලයේමයි. මම කිසිම වෙලාවක දරුවා වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දේවල් නතර කළේ නැහැ. අවුරුදු 5 ක් වෙනතුරු මම දුවට මවුකිරි දුන්නා. ඒ දේවල් කරන ගමන් තමයි මම මගේ රූපය, ශරීරය ගැන හිතුවේ. මම කැත වෙයි කියලා කිසිම වෙලාවක මවුකිරි දීම නතර කළේ නැහැ. අපිට ජීවිතේ සමහර දේවල් තියෙනවා පමාවෙලයි මුණගැහෙන්නේ. නිරූපණයත් මට ඒ වගේ මුණගැහුණු දෙයක්. 

  •  ජීවිතේ අතෑරපු දේවල් ගැන පසුතැවීමක් තියෙනවාද?

රැකියාවෙන් ඉවත් වෙද්දි මට ලොකු දුකක් ඇති වුණා. හැබැයි දරුවා වෙනුවෙන් රැකියාව අතෑරපු එක ගැන පසුතැවෙන්නේ නැහැ. ඒත් රැකියාව තිබුණා නම් කියලා අද සමහර වෙලාවට හිතෙනවා. කලාව තෝරා ගැනීම ගැන සතුටුයි. ඒත් අපිට හැමතිස්සේම කලා වැඩ  නැහැනේ.

  •  අද ජීවිතේ සතුටින්ද?

ඇත්තටම සතුටින්. මම බලාපොරොත්තු නොවණු හුඟක් දේවල් මේ වෙනකොට ලැබිලා තියෙනවා කලාව නිසා.

  •  මොනවාද ගයාත්‍රිගේ අලුත් කලා කටයුතු?

පාරදිගේ පසුගිය සතියේ සියලුම රූගත කිරීම් අවසන් වුණා. පාර දිගේ නාට්‍යය පුංචි තිරයට සමුදෙන්න ඉතාම ආසන්නයි. ඉදිරියට අලුත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණයේ රූගතකිරීම් ආරම්භවීමට නියමිතයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ කටයුතු සුපුරුදු විදියට කරගෙන යනවා.

  •  නදීශා අතුකෝරළ
     

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය Read Next

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය

Realted Post

Leave a comment