පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

පුංචි තිරයේ ප්‍රේමවන්තයා අපි කවුරුත් දන්න විශ්ව කොඩිකාර සමග සොඳුරු කතාබහක යෙදෙන්න  අපි තීරණය කළා. මේ දවස්වල ටෙලි තිරයෙන් හමුවන ඔහු තමන්ගේ  අලුත්ම තොරතුරු අපි එක්ක බෙදාගත්තෙ මේ විදියට. 

මෙතෙක් රඟපෑ චරිත ගැන මොකද හිතෙන්නේ? 

සෑහීමකට පත් වෙන්න තරම් දෙයක් තවම කරලා නැහැ. රංගන  ශිල්පියෙක් වුණාම බොහෝ චරිතවලට දායකත්වය ලබා දෙන්න ඕනෑ. මම කරපු චරිත අතරින් වර්ණ චිත්‍රපටිය සහ සීසර්ලා ටෙලි නාට්‍යයේ චරිතවල විවිධත්වයක් තිබෙනවා. දැනට මං කරලා තිබෙන්නේ හරියට සාගරයකින් වැලි ඇටයක් තරම් ප්‍රමාණයක්. 

වඩා කැමති පුංචි තිරයටද? රිදී තිරයටද? 

පුංචි තිරය, රිදී තිරය, වේදිකාව යන මේ මාධ්‍ය තුනේම නිර්මාණවලට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ මාධ්‍යයන්වලින් පැමිණෙන නිර්මාණවලට කිසිම භේදයකින් තොරව අදටත් මම දායකත්වය ලබා දෙනවා. එහෙත් සිනමාවට මම ගොඩක් කැමතියි. සිනමා රංගන ශිල්පියෙක් වෙනවා කියන්නේ වෙනමම දෙයක්.

මගේ දැක්මට අනුව ටෙලිනාට්‍යයක පෙනෙන රංගනයට වඩා හාත්පසින්ම වෙනස් විදියකට පැහැදිලි රංගනයක් සිනමාවෙන් දැකගත හැකියි.  ඒ වගේම සිනමාව කියන්නේ ලෝකයක් ජයගත් ක්ෂේත්‍රයක්. අපේ සිනමාවෙත් ස්වර්ණමය යුගයක් තිබුණා. එහි ආ රංගන ශිල්පී ශිල්පිනියන්ට ලොකු තැනක් තිබුණා. ඉතින් මේ හැම දෙයක් එක්කම සිනමා ක්ෂේත්‍රයට මං ගොඩක් කැමතියි.

වැඩිපුරම හම්බවෙන්නේ පෙම්වතාගෙ චරිතය නේද? 

මට ඒ ලැබුණු චරිත පිළිබඳ මම විවේචනය කරන්නේ නැහැ. මොනයම් වූ හේතුවක් මත මට ලැබුණු සෑම චරිතයක්ම ආදරණීය චරිත. ඒ සෑම චරිතයකටම මම සාධාරණයක් ඉෂ්ට කර තිබෙනවා. සෑම නිර්මාණයකටම මං දායකත්වය ලබා දීලා තියෙන්නෙ බොහොම ආසාවෙන්, ආදරයෙන්, ගෞරවයෙන්. ඒ කිසිම නිර්මාණයක මුදල් පදනම මත වැඩ කළේ නැහැ. මේ සෑම කලා නිර්මාණයක්ම මගේ දරුවන් හා සමානයි.

සීසර් ලා ටෙලි නාට්‍යයේ ඔබට ලැබී තිබෙන චරිතය නම් වෙනස් නේද?

ඒ චරිතය වෙනස්ම චරිතයක්. හැම කෙනාටම බැහැ  හැම කෙනෙක්වම හිනස්සවන්න, අඬවන්න. මගේ විශ්වාසය මට ලැබෙන චරිතයට සාධාරණයක් වෙන ලෙස දායකත්වය ලබා දෙන්න ඕනෑ. මගේ පියා සහ මගේ ගුරුවරයා හැම  වෙලාවකම මට  කියන්නේ  රංගන ශිල්පියෙක් කියන්නේ සෑම චරිතයකටම පණ පොවන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ චරිතය ලබා දුන්න විශ්ව ලංකා මහත්මයාට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් හොඳයි.

රංගන ජීවිතයේ දුටු ආදරණීය ම චරිතය මොකක්ද? 

විජය කුමාරතුංග මහතා. මම ඔහුව හැබැයින් දැකලා නැහැ. හැබැයි මම ඔහුට හරිම ආදරෙයි. 

සම්භාව්‍ය මට්ටමේ රංගනයකට තාම අවස්ථාවක් ලැබුණේ නෑ නේද? 

විවිධ චරිත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සම්භාව්‍ය චිත්‍රපට හෝ සම්භාව්‍ය ටෙලිනාට්‍යවලට දායකත්වය ලබා දුන්නොත්. ඒ නිසා වෙන්න ඇති ඒ අවස්ථාවක් ලැබුණේ නැත්තේ. ඒත් මං පසුබට වෙන්නෙ නැහැ . ඕනෑම කෙනෙකුට තමන්ගෙ කියල වෙලාවක් එනවා. 

වර් ණ චිත්‍රපටියේ රංගනය ගැන මොකද හිතෙන්නේ? 

වර්ණ චිත්‍රපටය අජිත් පී. ධර්මසූරිය මහතාගේ පළමුවන අධ්‍යක්ෂණය  ඔහු මට කතා කරලා ඇහුවා මෙන්න මේ වගේ වැඩක් තියෙනවා අපි කරමුද කියලා.  බිරිඳයි පියායි දෙන්නම පිටපත කියවලා මේක නම් හොඳ වැඩක් කරන්න කියලා කිව්වා. ඒත් මම අධ්‍යක්ෂවරයාට කිව්වා. චිත්‍රපටයේ මගේ පළවෙනි දර්ශනය ගන්න, හරි නැත්නම් මාව එම චරිතයෙන් අයින් කරන්න කිසිම තරහක් නැහැ  කියලා. මෙවැනි චරිතයක් ලැබුණේ මට පළමුවරට. මට මේ වැඩේ සාර්ථක කරගන්න අධ්‍යක්ෂවරයා වගේම කැමරා අධ්‍යක්ෂවරයාත් විශාල සහායක් දුන්නා. විශේෂයෙන් බිරිඳගේ සහාය නම් අමතක කරන්න බැහැ.  සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය  නිර්මාණය වෙලා තිබෙන්නේ. අද සමාජයේ මෙවැනි දේවල් සිදුවෙනවා. මෙවැනි චරිත සමාජයේ ජීවත් වෙනවා. මෙම නිර්මාණය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා.

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද? 

මම  දායක වුණු බොහෝ චරිතවලට ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. මගේ පළමුවන ටෙලි නාට්‍ය චරිතය වන පබළු නාට්‍යයේ හසරැල්ගේ චරිතය එදා වගේම තවමත් රසිකයන්ගේ හදවතේ තිබෙනවා.

ජනප්‍රිය වුණාට තවම සම්මානනීය වෙන්න බැරි වුණේ ඇයි? 

සෑම කැපකිරීමක්ම කරගෙන නිර්මාණවලට දායකත්වය දෙන්නේ හොඳ  විදියට රංගනය ඉදිරිපත් කරන්න. මට ලැබෙන හොඳම සම්මානය ජනතාව අතරට ගියාම ඔවුන්ගෙන් ලැබෙන ආදරය යි.  ජනතා සම්මානය. යොවුන් සම්මාන උලෙළේදී මට සම්මාන දෙකක් ලැබුණා. එතනින් එහාට මට සම්මාන ලැබෙයිද නැද්ද කියා මම දන්නේ නැහැ. එහෙම ලැබුණේ නැහැයි කියා මං දුක් වෙන්නෙත් නැහැ. ඒ වගේම මම ජනප්‍රියයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් පොඩ්ඩක් හරි ජනප්‍රියත්වයක් ඇති කියලා හිතෙනවා මොකද පාරට බැස්සම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පවුලෙන් ලැබෙන සහාය කොහොමද?

ඒ සහාය නම් අති විශිෂ්ටයි.

මගේ පියාගෙන් ලැබුණු අවවාද නිසා තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. මේ ක්ෂේත්‍රයෙ ඉන්න ඕන විදිහ  ඔහු මට කියා දීලා තිබෙනවා. ඒවගේම මගේ පවුල් ජීවිතය ඉදිරියට ගෙනියන්නත් මගේ පියාගේ අවවාද අනුශාසනා මහත් රුකුලක් වුණා. ඒ වගේම මගේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළයි. 

ඉදිරි නිර් මාන මොනවද? 

දැනට රැල්ල ​ෙවරලට ආදරේ නාට්‍යයේ චරිතයක් රංගනය දක්වනවා. තව නිර්මාණ දෙකකට දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම අජිත් පී. ධර්මසූරිය මහතාගේ නව චිත්‍රපටියේ වැඩකටයුතුද ආරම්භ කිරීමට  බලාපොරොත්තුවෙන් සිටිනවා.

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Previous

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Next

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

Realted Post

Leave a comment