සචින්තනී පෙම්වතියක්

'ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියලා කියමනක් තිබුණට ඒක වෙනස් කරපු අයත් මේ ලෝකේ නැතිවම නෙවෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනී කෞෂල්‍යා කියන්නෙත් ඒ වගේ කෙනෙක්.

මොනවද අලුත් විස්තර?

අලුත් දේවල් නැහැ. කියාදෙන්න ආදරේ තරම් එකේ වැඩත් එක්ක අධ්‍යාපන වැඩත් කරගෙන මේ දවස්වල ෂේප් එකේ යනවා.

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට විතරද මේ දවස්වල  දායක වෙන්නේ?

ඔව්. ටෙලි නාට්‍යවලින් මේක විතරයි. තව කරපු ටෙලි නාට්‍ය දෙකක් තියෙනවා. තව නාට්‍යවලට ආරාධනා ලැබිලත් තියෙනවා. ඉතින් ඒවත් කතා කරගෙන යනවා. 

දිගැසි, සචින්තනී එක වගේද?

සමහර තැන්වලදී එක වගේ. ඒත් සියයට සියයක්ම නැහැ. දිගැසිගෙ චරිතයට මම ගොඩක් ආදරෙයි. මම පේ‍්‍රක්ෂකයා අතරට එන්නේ ඒ චරිතය නිසා. සචින්තනීට වඩා මිනිස්සු දන්නෙ, ආදරේ කරන්නෙ දිගැසිගේ චරිතයට. මම මොන චරිතය කළත් දිගැසිව  තමයි මතකයේ තියෙන්නෙ.

ළඟදී ම කොණ්ඩෙටත් වෙනසක් කළා නේද?

මම ඉතින් කාලෙන් කාලෙට දේවල් කරන්න ආසයි. ටැටූ, පියසින්ග්, හෙයාර් කලරින්ග් වලට මම ගොඩක් කැමතියි. එක එක කාලයට ගැහැනු ළමයින්ට පිස්සු හැදෙනවානේ. ඉතින් ඒ වගේ ටික දවසක ඉඳන් මටත් ආසාවක් තිබුණා. කොණ්ඩෙට කලර් එකක් කරන්න  ඕනෑ කියලා. ඉතින් ඒකත් ට‍්‍රයි කළා.

මිනිස්සු ඒවා දකින්නේ වෙනස් විදියට නේද?

මම හිතන්නේ ඇඳුමෙන් පැලඳුමෙන් අපිව මනින්න බැහැ. ලංකාවේ සංස්කෘතිය එක්ක මිනිස්සු ඒ විදියට හිතනවා. විදේශ රටක ගත්තොත් ටැටූ එකක් ගහන එක, කොණ්ඩෙ කලර් කරන එක වෘත්තියට බාධාවක් වෙන්නේ නැහැ. මටත් ඒ වගේ විවේචන එල්ල වෙලා තියෙනවා. ඒත් මම හිතන්නේ අපි බාහිරෙන් අඳින පලඳින විදියෙන් නෙවෙයි අපේ වෘත්තිය ගෞරවය ආරක්ෂා වෙන්නේ අපි කරන ක‍්‍රියාව තමයි ඒකට මූලික වෙන්නේ. වයසට ගියාට පස්සේ විලාසිතා කරන්න බැහැ. තමන් තරුණ කාලේ තමන් ආස දේවල් කරන්න. මම දකින විදියට තමන්ට ගැළපෙන විදියට අඳිනවා නම් ඒකට වෘත්තිය බාධාවක් කරගත යුතු නැහැ.

පවුලේ විස්තර කිව්වොත්?

මගේ පවුලේ අම්මයි තාත්තයි, නංගියි, මමයි ඉන්නේ. අම්මා ගෘහිණියක්. තාත්තා ව්‍යාපාර කටයුතු කරනවා. නංගි සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවියක්. 

කලාවට එන්න හිතපු කෙනෙක් නෙවෙයි නේද?

ඔව්, පාසලේදීවත් රඟපාපු කෙනෙක් නෙමෙයි. අහම්බෙකින් තමයි කලාවට එන්නේ.

හොඳම යාළුවෙක් ජීවිතයට අවශ්‍යමද?

 ඒක පුද්ගලයා මත තීරණය වෙන්නේ. යාළුවා කියලා කෙනෙක් නැතත් කවුරුහරිම කෙනෙක් ඉන්න  ඕන දේවල් බෙදාගන්න. එහෙම නොවන තනියම ජීවත්වෙන අය  ඕනෑතරම් ඉන්නවා. ඒත් දන්න කියන කාලේ ඉඳලම මට හොඳම යාළුවෝ හිටියේ පිරිමි ලමයින්ම තමයි. ඒක කෙනාගේ කැමැත්ත මත තීරණය වෙන දෙයක්.

පිරිමි ළමයින්ම හොඳම යාළුවො වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

එහෙම විශේෂ හේතුවක් නම් නැහැ. ගැහැනු ළමයිනුත් හොඳම යාළුවෝ වෙලා ඉඳලා තියෙනවා. ගැහැනු ළමයි ඉක්මනට වෙනස්වෙනවා. මම දන්නේ නැහැ ඇයි කියලා. මම දන්න කාලේ ඉඳලම මගේ හොදම යාළුවා පිරිමි ළමයෙක්.

කාර්යබහුලත්වය කොහොමද දැනෙන්නෙ?

අපි ජීවත්වෙන කෙටි කාලයේදී අපිට විවිධ දේවල්වලට උත්සාහ කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. ගැහැනු ළමයෙක් විදිහට මම හරි ආසයි. කාර්යබහුල වෙන්න. මම මට ආදරෙයි. මම හැමතිස්සෙම බලන්නේ මම ආස දේවල් කරන්න. ඒ දේවල් එක්ක  කාර්යබහුල වෙන එක කරදරයක් විදිහට දකින්නෙ නැහැ. හැමතිස්සෙම වැඩ එක්ක ඉද්දී ඒක පීඩනයක්. ඒක නිසා මම විනෝදවෙන්න වෙලාව වෙන්කර ගන්නවා. එකම විදිහට ඉන්නකොටත් එපාවෙනවා. ජීවිතය විඳින්න  ඕනෑ.

අද කාලේ තරුණියක් කොහොමද ජීවිතේ සාර්ථක කරගන්න  ඕනෑ

මම දකින දෙයක් තමයි ගැහැනු ළමයි ගොඩක් අය අධ්‍යාපනය පැත්තෙන් ස්ථාවර වෙන්න උත්සාහ කරනවා. ගැහැනු පිරිමි බේදයකින් තොරව  ඕනෑම කෙනෙක් අධ්‍යාපනික පැත්තෙන් හරි  ඕනෑම ක්ෂේත‍්‍රයකින් ස්ථාවරවෙනවා නම් ඒක මාරම වටිනවා. මේ ලෝකෙ කවුරු කොහොම හිටියත් තමන්ව බබළවන්න, තමන්ව ඉස්සරහට ගෙනියන්න හැමවෙලාවෙම උත්සාහ කරන්න. තමන්ට ආදරේ කරන්න. එතකොට ආර්ථික පැත්තෙන් වගේම මානසික පැත්තෙනුත් අපි ශක්තිමත් වෙනවා.

දිගටම රඟපානවද?

ඒක ක්ෂ්ත‍්‍රයක් අතාරින්නේ නැහැ. ඒ දේවල් එක්ක සතුටින් ඉන්න එක තමයි බලාපොරොත්තුව.

මේ දවස්වල ගොසිප් එක සැරටම යනවා නේද ?

ඒක ගොසිප් එකක්ම  විතරයි කියලා තමයි කියන්න තියෙන්නෙ. යශ් අයියා කියන්නෙ මගේ හොඳ යාළුවෙක්. හැබැයි පෙම්වතුන් නෙවෙයි. දිගැසිට වගේම අනර්ඝටත් පේ‍්‍රක්ෂකයෝ ගොඩක් ආදරේ කරනවා. ඒ නිසාම යශ්ට වගේම සචින්තනීටත් මිනිස්සු හරි ආදරෙයි. ඒ ආදරයට අපිත් ආදරෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ප‍්‍රමෝෂන්වලට තමයි අපි ෆෝටෝ ෂූට් කළේ. ඒක ටෙලි තිරයට සීමා වුණ ගොසිප් එකක්ම විතරයි.

සචින්තනී පෙම්වතියක් ද?

ඔව්, මම මේ වෙනකොට පෙම්වතියක්.

ඔහු ගැන කිව්වොත්?

ඔහු විදේශගතවෙලා ඉන්නේ. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

සටහන - නෙත්මි තෂාරා
ඡායාරූප - සජීව ලක්ෂාන්

වයසට යන්න බයවෙන්නෙපා Read Previous

වයසට යන්න බයවෙන්නෙපා

Miss International Sri Lanka Read Next

Miss International Sri Lanka

Realted Post

Leave a comment