‘ඔද තෙද ඇති’ සමාජ මාධ්‍ය කැලඹූ ගීතය ගයන කුමාර කියන කතාව

මේ  දවස්වල ඔද තෙද ඇති ගීතයක්  ඔද තෙද ඇති තෙද බල ඇති විදියට කතාබහට ලක්වෙනවා. සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් ලියැවී තිබෙන මෙම ගීතය ගායනා කරන්නෙ කුමාර ඒකනායක නම් ගායන ශිල්පියා විසින්. එම ගීතය තමයි  මුනින්ද්‍රයාණනි  ගීතය. මේ වන විට  විදේශගතව සිටින ඔහු මීට පෙරද එතරම් ප‍්‍රසිද්ධ නොවුණත් මෙවැනිම ආකාරයේ ගීත ගායනා කොට තිබෙනවා. හැමෝටම පුදුමයක්  වුණු මේ ගීතය ගැන ඔහු අප සමග කතා කළා.  

ඔබ ගැන කිව්වොත්?

මම වෘත්තියෙන් සංගීතඥයෙක් දැන් අවුරුදු විසි පහකට වැඩිවෙනවා මිසක් අඩු නැහැ. මාව හුඟක්ම දැනගත්තේ ලතා සිංදුවෙන්. ඊට පස්සෙ නන්දා අක්කාගේ බත් කඬේ වගේ ගීත කිව්වා. දැන් මම අවුරුදු දහතුනක් වෙනවා මෙල්බර්න් ඇවිල්ලා.

ඔබ මෙල්බර්න් යන්නේ ඇයි?

වරක් අපි එංගලන්ත සවාරියක් ගියා. එතකොට හිතුණා මේ රටවල්වල ජීවන රටාව හරිම සාමකාමීයි කියලා. ඊට පස්සේ  බිරිඳයි  මායි  ජීවත් වෙන්න හොඳ රටක් බැලුවා. යුද්දෙත් එක්ක සංගීතත් ලොකුවට තිබුණෙ නැති  කාලයක්  ඒක. ඉස්සර  වෙඩින්වල ප්ලේ කරන්න ගියා බැන්ඞ් එකක් විදියට. ඒකෙන් මට ගොඩක් සංගීත ප‍්‍රසංගත් මගහැරුණා. ඊට පස්සේ   ඕස්ට්‍රේලියාව හොඳයි කියලා හිතුවා. ලංකාවේ වැඩි පිරිසක් මෙල්බර්න්වල ඉන්න නිසා එහෙ යන්න හිතුවා.

මුනින්ද්‍රයාණනි ගීතය ලියැවෙන්නෙ මොනවගේ කාලයක ද?

අවුරුදු හත අටකට විතර කලින්. මීට අවුරුදු හතකට කලින් සමන්තභද්‍ර හිමියන් වැඩියා මෙල්බර්න් නුවර අපේ හිතවතෙකුගෙ  ගෙදරට. උදේ හවස අපි දානෙ අරගෙන යනවා. කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. හවස දේශන තිබුණා. එක දවසක් ඒවා අහලා ඇවිල්ලා  මට සිංදුවක් ලියැවුණා. හැබැයි ඒ මේ සිංදුව නෙමේ. ඒ සින්දුව  ලියවුණේ දේශන ඇසුරෙන්. දවසක් මං හීල් දානය අරන් ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා මගේ අතින් සිංදුවක් ලියැවුණා කියලා. ඊට පස්සේ  හාමුදුරුවො කිව්වා ඊළඟ දවසේ දේශනයට කලින් මේක කියන්න කියලා. ඒ විදියට මම සිංදු කිහිපයක්ම කිව්වා. ඒවත් එක්ක ලියැවුණු ගීතයක් තමයි මුනින්ද්‍රයාණනි ගීතය. 

අවුරුදු අටක්ම බලන් හිටියේ ඇයි මේක කියන්න?

මගේ  සම්ප‍්‍රදායික ගීත වගේ නෙවෙයි මේක මගේ සතුට වෙනුවෙන් ලියපු එකක්. මම ගීත කිහිපයක් ලියලා ආශ‍්‍රමයට යැව්වා මිසක් ඒකෙන්  ජනප‍්‍රිය වෙන්න හිතුවේ නැහැ. මේක ඇත්තටම අහඹු සිදුවීමක්. මම ලංකාවට ආපු වෙලාවෙ එතැනින් යද්දි හාමුදුරුවො කිව්ව එන්න කියලා. හාමුදුරුවෝ මයික‍්‍රෆෝනය දීලා මට කිව්වා ඔබතුමාගේ කතාව කියන්න කියලා. එතැනදි කියවුණු සින්දුවක් තමයි මේ viral  වුණේ.

මේ ගීතයට හුඟක් අය බැණල තිබුණා නේද?

තියෙන ලොකුම වැරදි මතයක් තමයි සමන්තභද්‍ර හාමුදුරුවො කියපු නිසා මම එතන වන්දිභට්ටයෙක් වගේ  ප‍්‍රචාරය කළා කියලා. එහෙම දෙයක් නැහැ. කතරගම දෙවියන්ට මොන තරම් ගීත ලියනවා ද? කවුරුත් මොනවත් කියන්නෙ නැහැ නොපෙනෙන නිසා. මම සින්දු කියන්නේ කාගෙවත් හොඳ අහන්නවත්  නරක අහන්නවත් නෙවෙයි. මගේ සතුට වෙනුවෙන්.

එකම  සම්ප‍්‍රදායකටම ගීත කියන්න විශේෂ හේතුවක් තියෙනවාද?

මුල් කාලේ මම සංගීතය කරන්න විවිධ අයට දීලා තියෙනවා. හේමසිරි හල්පිට අයියා තමයි ගොඩක් මට සිංදු ලිව්වෙ. ඔහු නැති වුණාට පස්සේ මට මොකක් හරි අදහසක් ආවොත් ෆෝන් එකෙන් හරි මම රෙකෝඩ් කරගන්නවා. අඬ අඬ  කියන සින්දු මට කොහොමත් හරියන්නේ නැහැ. මගේම ආරෙකට මම කියන්නෙ. සමන්තභද්‍ර හාමුදුරුවන්ට වුණත්  වෙන අය ලියල  තිබුණු ගීත වගේ නෙවෙයි මගේ ගීත. බයිලා විදියට කියන්නේ. මං ඒක වෙනස් කරන්න ගියේ  නැහැ.

සටහන - නෙත්මි තෂාරා

 

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Previous

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment