හිස කෙස් ගලවනවද...... එහෙනම් හිතේ ලෙඩක්

පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 26 හැවිරිදි තරුණ කාන්තාවක් චර්ම රෝග සායනයකට පැමිණ තිබුණේ හිසකෙස් ගැලවී යෑම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටය.. ඇය මුලින්ම කීවේ මාස කිහිපයක් තිස්සේ නිතරම කෙස් ගැලවෙන බවත් මේ නිසා තමන්ගේ කොණ්ඩය අවලස්සන වී ඇති බවත් ය. හිසකෙස් ගැලවී ඇති තැන් වහගන්නට විවිධ උපක්‍රම කිරීමට සිදුවන බව ඇය සඳහන් කළා ය.

 

එහෙත් වැඩිදුර තොරතුරු අසා බලන විට වෛද්‍යවරයාට දැනගන්නට ලැබුණේ ඇයට තමන්ගේ හිසකෙස් තමන් විසින් ම ගලවා ගන්නා පුරුද්දක් කාලයක් තිස්සේ  පවතින බවයි..
මේ නිසා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට ඇය මනෝ වෛද්‍ය සායනයට යොමු කෙරුණු පසු මෙම තත්ත්වය ගැන තවත් කරුණු බොහොමයක් අනාවරණය විය.
ඇය පවසන්නේ මෙම චර්යාව මුලින්ම 18 වැනි වියේදී ඇරඹුණු බවයි. ඇයට පසුගිය අවුරුදු කිහිපයක පුරාවට මෙම හැසිරීම තිබූ නමුත්, විශේෂයෙන් විභාග කාලවලදී එය දරුණු වී තිබුණි. ඒ වගේම විභාග සඳහා පාඩම් කරන විට, ඇය නොදැනුවත්වම හිසකෙස් ගලවාගෙන තිබුණි. මුලදී මෙය අහඹු ලෙස සිදුවුවත්, කාලයත් සමග වරින්වර සිදුවන පුරුද්දක් බවට පත්ව තිබේ.  විශේෂයෙන් රැකියා ස්ථානයේ ආතති සහගත සහ ගැටලු සහිත අවස්ථාවලදී ඇයට මෙම හැසිරීම පාලනය කළ නොහැකි වී ඇත.
මේ ගැටලුව ආරම්භ වුණු විභාග සඳහා සූදානම් වීම වැනි මුල් කාලයේදී, ඇය කිසිවිටෙකත් තමන්ම තනිව සිටින විට හිසකෙස් ගලවාගන්නා බව තේරුම් ගොස් නොතිබුණි. එහෙත් ඇය පොත් කියවමින් සිටින විට හෝ ආතතියට පත්වන විට, ඇයගේ ඇඟිලි නොදැනුවත්වම හිස වෙත ගොස් හිසකෙස් ගලවා ගන්නා බව ඇයට පසුව තේරුම් ගැනීමට හැකි වී තිබේ.
මේ පුරුද්දට පැහැදිලිව හේතුවෙන් ඇයට හිතා ගන්නට බැරි වුණත් එය නතර කරගැනීමට නොහැකි බවත් ඇයට තේරුම් ගොස් තිබුණි.
තවද ඇයට වෙනත් කිසිම බරපතළ මානසික රෝග ලක්‍ෂණ කිසිවක් නැති බව අනාවරණය කර ගැනීමට ද වෛද්‍යවරයාට හැකි විය. එහෙත් ඇයට තම ගැටලුව නිසා යම් තරමකට කනස්සල්ලක් තිබුණේ නැතුවත් නොවේ.
ඒ වගේම මේ ගලවන කෙස් හැපීම සහ ගිලීම වැනි සෞඛ්‍යයට අහිතකර පුරුදු ද ඇය ට තිබී නැත.
වෛද්‍යවරයා රෝගය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ අතර හිසකෙස්වලට අමතරව ඇහි බැම, ඇහි පිහාටු ගලවා ගැනීම සුලභව දැකිය හැකි බවත්, සිරුරේ රෝම ගලවා ගැනීමද සිදුවිය හැකි බවත් කියා සිටියේය. මෙය  මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ  Trichotillomania/ Hair- Pulling Disorder) නම් තත්ත්වය ලෙසයි.  
බොහෝවිට මානසික ආතතිය මෙයට සම්බන්ධ වේ.. හිසකෙස් ගලවා ගැනීමට පෙර හෝ එය හිතාමතා නතර කර ගැනීමට උත්සාහ කරන විට තද මානසික ආතතියක් ඇති වෙන අතර කෙස් ගැලවූ පසු මේ ආතතිය අඩු වී යයි.
මේ සමග නියපොතු හැපීම වැනි පුරුදු ද තිබිය හැකිය.
මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස, මානසික ආතතිය අඩුකර ගන්නා ක්‍රම පුහුණුවීම, මෙම හැසිරීම වැඩිපුර සිදුවන අවස්ථා තමන් විසින් ම හඳුනාගෙන එවැනි අවස්ථාවලදී සැලකිලිමත්වීම මූලිකවම වැදගත් වේ. ඊට අමතරව වඩා විද්‍යාත්මක ක්‍රමයක් ලෙස තමන්ගේ අත හිසකෙස් වෙත යන මොහොත හඳුනාගැනීමටත්, එවැනි විටෙක අතින් එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක නිතර වීමටත් පුහුණු කිරීම කළ හැකිය.. කලාතුරකින් බෙහෙත් වර්ග ලබාදීමටද සිදුවිය හැකිය..

 

SIRIKATHA WEDDING - CHATHURANGA & AYESHA Read Previous

SIRIKATHA WEDDING - CHATHURANGA & AYESHA

අමාත්‍ය ගමගෙදර දිසානායක මාතලේ ගියේ ඇයි? Read Next

අමාත්‍ය ගමගෙදර දිසානායක මාතලේ ගියේ ඇයි?

Realted Post

Leave a comment