ඩොක්ටර් දන්නෙ නෑනේ මට තියෙන ලෙඩේ.....

මෙවර කතාවට පාදක වන්නේ තමන්ට බරපතළ අසනීපයක් තිබේ යැයි නිතර ඇති වූ බිය නිසා මානසික පීඩාවට පත් වූ කාන්තාවකගේ විස්තරයකි.

ගෘහිණියක් වූ ඇය දරුවන් පාසලට ගිය පසු නිවසේ වැඩ කටයුතු කරමින් තනිවම කාලය ගත කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණි. ඇය  බොහොම නිරෝගිමත්ව සිටි කෙනෙක් වුවද මෑත කාලයේ නිතරම අසනීප ලක්ෂණ කියා සිටිනබව  නිවැසියන්ට පෙනී යන්නට විය.
ඇතැම් අවස්ථාවල ඇය කියා සිටියේ තමන්ගේ බඩ නිතරම රිදෙන බවත් එය බඩේ ගෙඩියක් හෝ පිළිකාවක් යැයි තමන්ට සිතෙනබවත් ය. තවත් අවස්ථාවල ඇය තමන්ට තදබල හිසේ කැක්කුමක් ඇතිබවද එය කුමක් හෝ තදබල ස්නායු අසනීපයක් යැයි තමන්ට හිතෙ බවත් කියා සිටියාය. මේ ආකාරයේ විවිධ තදබල රෝග ගැන ඇය වරින් වර  විශ්වාස කළ අතර  ඇයට මහත් පීඩනයක් ගෙන දෙනබවත් එම රෝගය සොයාගැනීමට තදින්ම අවශ්‍යබවත් කීවාය.
ඇය නිතරම ශරීරයට දැනෙන විවිධාකාර  සුළු වේදනා සහ සංවේදන පිළිබඳව අවධානයක් දෙන බවත් ඒවාට හේතුව ලෙස හැමවිටම කුමක් හෝ ඉතා බරපතළ සහ දුර්ලභ රෝග තත්ත්ව පිළිබඳ නිගමනවලට එන බවත් පෙනී යන්නට විය. උදාහරණයක් ලෙස වෙහෙසකර දවසකට පසුව ඇතිවන ඔළුවේ කැක්කුමක් වෙනත් අයෙක් විශ්වාස කරන්නේ ශරීරයේ තෙහෙට්ටුව නිසා සිදුවූ සාමාන්‍ය දෙයක් ලෙස වුවද ඇය ඒ වෙනුවට මොළයේ ගෙඩියක් හෝ නහරයක් හිරවීම වැනි තත්ත්වයක් නිසා යැයි සිතන්නට පුරුදු වී සිටියාය.
තමන්ට ඇත්තේ මෙන්න මේ රෝගය යැයි ඉතා තදින් එල්බ ගත් ස්ථීර විශ්වාසයක් තිබුණේ නැති අතර කාලයෙන් කාලයට ශරීරයේ විවිධ තැන්වල ඇතිවන විවිධාකාර රෝග පිළිබඳව සැක කිරීම සිදුවිය. නමුත් ඇයගේ දවසේ වැඩි කාලයක් ගත වූයේ මේ පිළිබඳව කල්පනා කරමින්, කතා කරමින් හෝ විවිධාකාර මාධ්‍ය යටතේ රෝග ගැන සොයා බලමිනි. ඇය නිතරම රෝහල්වලට ගොස් රුධිර පරීක්ෂණ, ECG, X-ray, CT scan  වගේ විවිධ පරීක්ෂණ කරවන්නට උත්සාහ කළාය. හැම වාර්තාවක්ම සාමාන්‍ය ලෙස පැමිණියත් ඇය ඒවා පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඇය නැවත නැවතත් කියා සිටියේ  ‘‘මට තිබෙන ලෙඩේ  වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි වෙලා” යනුවෙනි.  වෛද්‍යවරුන්ගේ නිගමන සහ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරීක්ෂණ වාර්තා ඇයට කිසිම සහනයක් ලබා දෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
මෙම සියලුම පයේෂණ වාර්තා සහ සායනික සටහන් ඉතා පිළි‍වෙළට එකතු කර තිබූ අතර යම් රෝග ලක්ෂණයක් පිළිබඳව උපදෙස් ලබා ගැනීමට යන හැම විටම  ඒවා රැගෙන යාම සාමාන්‍ය දෙයක් වී තිබුණි. ඇය කියා සිටියේ යම් ආකාරයකින් ඇයට තිබිය හැකි රෝගය විනිශ්චය වීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ඇය මෙසේ සැලකිලිමත් වන බවයි.
එමෙන්ම නිවසේ තනිව ගත කරන කාලය අතරතුර විද්‍යුත් මාධ්‍යවල හෝ පුවත්පත්වල  පළවන සෞඛ්‍ය සම්බන්ධ ලිපි සහ වැඩසටහන් ඉතාම සැලකිල්ලෙන් බැලීමටද ඇය පුරුදු වී සිටියාය. එමෙන්ම අයෙක් තමන්ට තිබූ අසනීපයක් ගැන පවසා සිටියහොත් ඒ පිළිබඳවද සාවදානව ඇහුම්කන් දෙමින් රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව විමසීමටද ඇය පුරුදු වී සිටියාය. මෙමගින් අලුතින් ඉගෙන ගන්නා රෝග සහ රෝග ලක්ෂණ තමන්ගේ ශරීරයට දැනෙන දේ සමග සංසන්දනය කර බලමින් තමන්ට ඇති යැයි සිතිය හැකි රෝග පිළිබඳව නිගමනවලට පැමිණීමත්, ඒ පිළිබඳව පවුලේ අය සමග කියා සිටීමත් සාමාන්‍ය දෙයක් බවට පත්විය.
ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකළ මුල් අවස්ථාවේදී ඇය එයට තදින්ම විරුද්ධ වූ අතර  තමන්ට ඇත්තේ ශරීරයේ රෝගයක් බවත්  මානසික ප්‍රතිකාර ගන්නා කාලය තුළ  එම රෝග විනිශ්චය මගහැරී ගොස් තමන්ට අනතුරක් වීමට ඉඩ ඇති බවත් ඇය පවසා සිටියාය.
මෙම රෝග තත්ත්වය Hypochondriasis නමින් හඳුන්වන ග්‍රස්ත රෝග නැතහොත් Obsessive Compulsive Disorder  කාණ්ඩයට වැටෙන රෝගයකි.
මේ තත්ත්වය නිසා රෝගීන්ගේ එදිනෙදා කටයුතුවලට මෙන්ම ඔවුන්ගේ සමීපතමයන්ගේ ජීවිතවලටද පැහැදිලිවම බාධා එල්ල වේ.
මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවතිය හැකි අතර කාලයෙන් කාලයට අඩු වැඩිවෙමින් බොහෝ කාලයක් පැවතිය හැකිය. මෙම රෝගී තත්ත්වය   වැඩිහිටියන්ට ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.
මෙම රෝගීන් අනවශ්‍ය ලෙස පරීක්ෂණවලට ලක්වීමත් නිතරම වෛද්‍ය අවවාද ලබා ගැනීමට යාමත් සිදුවන අතර නිතරම තමන්ගේ ශරීරයේ ඇතිවිය හැකි විවිධ රෝග ලක්ෂණ පිළිබඳව තදබල සෙවිල්ලකින් සිටියි. නමුත් ඇතැම් රෝගීන් රෝග පිළිබඳව ඇති බිය නිසා සෞඛ්‍ය සම්බන්ධව සඳහන් වන කිසිම කතාබහකට සහභාගි නොවීම හෝ වෛද්‍ය අවවාද ගැනීමෙන් වැළකී සිටීමද සිදුවිය හැකිය.
මෙම රෝගයේදී මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට මුල් තැනක් දෙන අතර විවිධ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඉතාම අසුබ හෝ නරක නිගමනයට පමණක් ම පැමිණීමේ පුරුද්ද අඩුකර ගැනීමට රෝගියා පුහුණු කරනු ලබයි. එමෙන්ම තමන්ගේ ශරීරය පිළිබඳ ව අධික අවධානයකින් සිටීම අඩු කිරීමත් නිරන්තරයෙන්ම වෛද්‍ය අවවාද හෝ පරීක්ෂණ සඳහා යාම අඩු කිරීමත් බිය නිසා මගහරින විවිධ ක්‍රියාකාරකම් මගහැරීම අඩු කිරීමත් ප්‍රතිකාරවලට අයත් වේ. මානසික පීඩනය අඩු කිරීමට සිත සැහැල්ලු කරන ව්‍යායාමද මේ සමග භාවිත කළ හැකිය.
මෙම ප්‍රතිකාරවලදී පවුලේ සමීපතමයන් සියලු දෙනාම රෝග ලක්ෂණ පිළිබඳව දෙන අවධානය අඩු කිරීම සහ අසනීප ගැන සෙවීමට කරන සහයෝගය අඩු කිරීම ඉතා වැදගත් වේ.

  • අදහස් දැක්වීම  -  අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති කපිල රණසිංහ
  • අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි, වෛද්‍ය   උදාර එරත්න
  • සටහන - ආරියසේන හඳුවල 

සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය Read Previous

සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී...    ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online Read Next

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී... ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online

Realted Post

Leave a comment