ඒ ප්‍රශ්නය ආපහු තාත්තාගෙන් අහන්න එපා දුවේ
ආදරණීය දුවේ,
සාගර හතක් දුරින් ඉඳගෙන ඔයාට ජීවිතේ කියලා දෙන්න වේවි කියලා තාත්ති කවමදාවත් හිතලා තිබුණෙ නැහැ. ස්කයිප්වලින්, වට්ස්ඇප්වලින් පිය උණුහුම නඩත්තු කරන්න ඕනෑ කියලා තාත්ති කවදාවත් ප්‍රාර්ථනා කරල තිබුණෙ නැහැ. තාත්තිට ඕන වුණේ ඔයාගෙ ළඟින්ම ඉන්න. ඔයාගෙ සුළැඟිල්ල පටලාගෙන ඔයත්තෙක්ක ඉස්කෝලෙට යන්න.
මතකද? පුංචිම දවස්වල ඔයා නර්සරි යන කාලෙ, මම ඔයාව බයික් එකේ එක්ක ගිය හැටි. ඔට්ටුයි ඔයාට මතක නෑ. ජීවිතේ අනිත් වකවානු වගේ නෙවෙයි, පුංචිම සන්දියේ වෙච්ච දේවල් අපිට මතක තියෙන්නෙ හරිම අඩුවෙන්. තාත්තිට වුණත් එහෙමයි. තාත්තිගෙ පුංචි සන්දියෙන් වුණත් දැනට මතක් වෙන්නෙ අතැඟිලිවලින් ගණන් කරන්න පුළුවන් තරමේ සැමරුම් කිහිපයක් විතරයි. ඒකට හේතුවකුත් තියෙනවා. ඔය සන්දියේ දි පුංචි එකෙකුට මුළු ලෝකෙම අලුත් අත්දැකීමක්. නැවුම් අත්දැකීමක්. කුතුහලයෙන් පිරිලා. දකින දකින දේ අලුත්. ඇහෙන ඇහෙන දේ අලුත්. අලුත් දසුනකට, අලුත් නාදෙකට, අලුත් සුවඳකට ඉඩ දීලා පැරණි මතක සිතුවිලි මඬුල්ලෙන් රූටලා යනවා.
ඔයත් එක්ක නර්සරි යද්දි මම බයික් එක පදින්නෙ ගොඩාක් හෙමින්. ඒ ඔයාව මලක් වගේ පරිස්සම් කරන්න ඕනෙ හින්දා. ඉතින් පාර දෙපැත්තෙ තියෙන හැම ගහකම හැම මලකම නම ඔයාට දැනගන්න ඕන වෙනවා. හැම කුරුල්ලෙක්ම අඳුනගන්න ඔයාට උවමනා වෙනවා. තාත්ති ඉතින් පරිසර විද්‍යාඥයෙක්යැ? ඒත් ඔයාට ඒ දේවල් අඩුවක් නැතිව කියල දෙන්න ඕනෙ නිසාම තාත්ති දවසක් කවිශාන්ත මාමත් එක්ක පයින්ම ඇවිදගෙන ගියා ඔය පාරෙ. එයා ගහට, කොළට, කුරුල්ලන්ට බැඳිලා හිටපු මනුස්සයෙක් මිනිස්සුන්ට වඩා. ඔයාගෙ ප්‍රශ්නවලට ගොඩාක් උත්තර එයා ළඟ තිබුණා.
ඒත් ඊට ටික කාලෙකට පස්සෙ ඔයා අහන්න පටන් ගනිපු ප්‍රශ්නවලට නම් කවිශාන්ත මාමා උත්තර දැනගෙන හිටියෙත් නෑ.
“ඇයි ඒ මල ඒ ගහේම පිපෙන්නේ?”
“ඇයි කහ කුරුල්ලා කහ පාට වෙලා පිළිහුඩුවා නිල් පාට?”
“කුරුල්ලන්ට වගේ බලු රාලට, පූස් තඩියට පිහාටු නැත්තෙ මොකද?”
ඒවාට උත්තර දෙන්න තාත්ති ඉතින් දෙවියන් වහන්සේ නෙවෙයිනේ. තාත්ති දැනගෙන හිටියා විද්‍යාත්මක පැහැදිලි කිරීම් කරන්න තරම් ඔයා මෝරලා නෑ කියලා.
“ඒවා තේරුම් ගන්න නම් ලොකු වුණාම ඔයා ගොඩාක් පොත් කියවන්න ඕනෙ”
සමහර විට ඔයා ඔය තරම් කියවන්න පෙලඹෙන්න ඇත්තෙත් ඕවට උත්තර හොයන්න වෙන්න ඇති. ඒ ගැන නම් තාත්තිට ගොඩාක් සතුටුයි. ඒත් ඒ සතුට ඉක්මවන වේදනාවකින් මේ දැනුත් පපුව බර වෙලා.
ඔයා දැන් ඉස්කෝලෙට යන්නෙ ස්කූල් වෑන් එකේ. පරණ පාරෙ නෙවෙයි. අලුත් පාරක. අහනව නම් දැනුත් ඔයාට සියක් කෝටියක් ප්‍රශ්න ඇති. ඒත් කාගෙන් කියල අහන්නද? ඇහුවත් සමහර ප්‍රශ්නවලට උත්තර දන්නෙ තාත්තා කෙනෙක්ම විතරයි. ඒ ප්‍රශ්නවලට උත්තර පොත් පත්වලවත් නෑ.
ඒත් අපි මේ ඉපදිලා ඉන්නෙ වැරදි කාලෙක. වැරදි දේසෙක. පස්මහ බැලුම් බලලා උපදින්න තාත්තිවත් ඔයාවත් සිදුහත් කුලේ නෙවෙයිනේ. ඉතින් ඔයාටත් මටත් අපි දෙන්නටම සිද්ධ වෙනවා මේ යුගය අවබෝධ කරගන්න. මේ විප්පයෝගය තේරුම් ගන්න. ඒක නිසාම දුවේ, මට ඕනෙ ඔයාගෙන් එක ඉල්ලීමක් කරන්න. මොන ප්‍රශ්න ඇහුවත් කමක් නෑ, ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා, ඒක නම් ආයෙ කවමදාවත් අහන්න එපා.
“තාත්ති ඔයා කවදද ආයෙ ලංකාවට එන්නෙ?”
අර ඔයා අහන සමහර ප්‍රශ්නවලට වගේම මේ ප්‍රශ්නෙටත් උත්තරේ තාත්ති දන්නෙ නෑ. දෙවියෙක් ඉන්නව නම් අන්න එයා දන්නව ඇති.
ආදරණීය තාත්තා
නලින්ද සංජීව ලියනගේ
Leave a comment