මිනිත්තුවක වටිනාකම කීයද දන්නවද?
ආදරණීය දුවේ,
“මිනිත්තුවක වටිනාකම තේරුම් නොගන්නා මනුස්සයා පැයක් නාස්ති කරනවලු. පැයක වටිනාකම නොදන්න මනුස්සයා දවසක් නාස්ති කරනවලු. දවසක වටිනාකම නොදන්න මනුස්සයා අවුරුද්දක් නාස්ති කරනවලු. ඔය විදියට අලසයෙකුට පුළුවන්ලු තමන්ගෙ මුළුමහත් ජීවිත කාලයම නාස්ති කරගන්න.”
මෙහෙම කියන්නෙ මම නෙවෙයි. සොල්ෂෙනිට්සින් කියන සෝවියට් ලේඛකයා. එයා නොබෙල් සාහිත්‍ය ත්‍යාගයටත් උරුමකම් කියූ ලේඛකයෙක්. එයාගෙ අපූර්ව ප්‍රබන්ධයක් තියෙනවා ”පිළිකා වාට්ටුව” කියලා.
ඒ ප්‍රබන්ධයේ තියෙනවා තවත් ලස්සන කතාවක්. ටිකක් සුරංගනා කතාවක් වගේ.
ඔන්න අහගන්නකො.
ලෝකය නිර්මාණය කරපු මුල් කාලෙ, එක දවසක් දා, දෙවියො තීරණය කළාලු, ලෝකයේ හටගත් සියලු සත්ත්ව වර්ගයාට පරමායුෂ ප්‍රදානය කරන්න. ඉතින් පණිවිඩේ සැලවුණු ගමන් සියලුම තිරිසන් සත්තු දෙවියන්ව බැහැ දකින්න ගියාලු. දෙවියොත් ඔන්න දැන් අත දිග ඇරලා ආයුෂ ප්‍රදානය කරනවලු.
සුපුරුදු පරිදිම මිනිස්සු දෙවියන් බැහැ දකින්න ගියේ හොදටම පරක්කු වෙලාලු. ඒ වුණත් දෙවියො මිනිස්සු වෙනුවෙන් අවුරුදු විසිපහක් වෙන් කරගෙන හිටියලු.
“අවුරුදු විසිපහක් මොනව කරන්නද? හොඳටම මදි. හොඳටම මදි දෙයියනේ”
මිනිස්සු ඔන්නොහොම පැමිණිලි කරන්න ගත්තලු. මාර වැඩේ. මුලින් මුලින් ආපු සත්තුන්ට ලෝබ නැතුව තෑගි කළ නිසා මේ වෙද්දි දෙවියො ළඟත් තිබුණෙ ආයුෂ බොහොම පොඩ්ඩලු. ඒත් ඉතින් මිනිස්සුන්ගෙ කන්නලව්ව අහගෙන ඉන්න බැරි තරමට කරච්චලයක් වෙද්දි දෙයියොන්ට කල්පනා වුණාලු මෙහෙම දෙයක්.
“හොඳයි, දැන් ඉතින් මක් කරන්නද? එක ක්‍රමයක් තියෙනවා. පොඩ්ඩක් උත්සාහ කරල බලමු”
“අනේ මොකක්ද දෙයියෝ?”
“කල් තියා මම ගාවට ආපු සත්තු ගොඩාක් ආයුෂ අරන් ගියා. ඔහේලා ගිහින් ඒ සත්තුත් එක්ක කතා කරලා ආයුෂ ටිකක් ඉල්ලගන්න බලන්න. පෙළක් වෙලාවට කැමති වෙන්නත් ඉඩ තියෙනවා.”
මේක අහපු ගමන් මිනිස්සු දුවල ගියාලු. ඉස්සෙල්ලම හම්බවෙලා තියෙන්නෙ අශ්වයා. මිනිස්සුන්ගෙ දුක් ගැනවිල්ලට සවන් දීපු අශ්වයා එයාට ලැබුණු ආයුෂවලින් අවුරුදු විසිපහක් මිනිස්සුන්ට දුන්නලු.
ඒත් ඉතින් අවුරුදු පනහක් ඇතෑ. ඔන්න ඊළඟට ගියාලු බල්ලා ගාවට. බල්ලත් ඉතින් කණුකුණු නොගා තව අවුරුදු විසිපහක් දුන්නලු. දැන් කීයද එතකොට? හැත්තෑපහයි.
වැඩේ කියන්නෙ හැත්තෑපහත් මදි වගේ ලු. මිනිස්සු ගිහින් රිළවා ගාවට. රිළවත් ඉතින් නෑ බෑ නොකියා තව අවුරුදු විසිපහක් දීලා.
දැන් ඉතින් මිනිස්සුන්ට හරිම සතුටුයි. අවුරුදු සීයක් නේ.
ඒත් ජීවත් වෙද්දි තමයි ටික ටික තේරෙන්න පටන් අරන් තියෙන්නේ.අර දෙවියො මුලින්ම වෙන් කරපු අවුරුදු විසි පහ තමයිලු මිනිස්සු ලස්සනටම ජීවත් වෙන්නෙ. ඊළඟ අවුරුදු විසි පහ අශ්වයෙක් වගේ මැරි මැරී වැඩ කරන්න ඕනලු. ඊළඟ විසි පහේ බල්ලෙක් වගේ හැමෝටම බුරාගෙන පනිනවලු, නොරිස්සුමින්. අන්තිම විසි පහ රිළවෙක් වගේ හැමෝගෙම හිනාවට ගොදුරු වෙවී ජීවත් වෙන්න වෙනවලු.
ඕක තමයි කතාව. ඒ කතාවෙ ඉතින් ජීවිතේ ගැන එක්තරා දාර්ශනික අදහසක් තියෙනවා. ඔයා නිවාඩු පාඩුවේ ඒ ගැන හිතන්න.
මට හිතෙන දේ කියන්නම්. අශ්වයෙක් වගේ මැරි මැරී වැඩ කරන කාලෙත් අපිට ඕන නම් ලස්සන කාලයක් කරගන්න පුළුවන්. ඒකට කළ යුතු හොඳම දේ වැඩ කරන එක සතුටක් බවට පත් කරගන්න එක. එහෙම වැඩ කරන මිනිස්සු කවදාවත් බුරන්න යන්නෙ නැහැ. රිළවාගෙ ඉරණමට ඇද වැටෙන්නෙත් නැහැ.
අන්න එහෙම මිනිස්සු මිනිත්තුවක පවා වටිනාකම අඳුනනවා. මම කැමතියි ඔයා මිනිත්තුවක වටිනාකම පවා අඳුනාගන්නා දරුවෙක් වෙනවට.
ආදරණීය තාත්තා
නලින්ද සංජීව ලියනගේ
Leave a comment