දුවක් උපදින්නෙම ආදරයත් එක්ක

ආදරණීය මගේ දුවේ, 
 
ඉරිසියාව කියන්නෙ අයහපත් හැඟීමක් තමයි. ඒත් ඔයා දන්නවද දුවේ? ඉරිසියාවෙ පවා තියෙනවා සුන්දර පැත්තක්. මම ලියන්න ආසයිනේ. කවුරුහරි ලස්සනට යමක් ලියල තියෙනවා දැක්කොත් ඔන්න තාත්තිට ඉරිසියා හිතෙනවා.
 
“ඇයි දෙයියනේ ඒ වගේ දෙයක් මගේ ඔ`ඵවට ආවෙ නැත්තෙ?”
 
ඒ ඉරිසියාව අන්න ඒ වගේ හැඟීමක්. ලෝබකමකට ටිකක් කිට්ටු හැඟීමක්.
 
මුහුණු පොතේ උඩට යටට යමින් හිටපු පුංචි විරාමයකදි මට හමුවුණා ඉතාම දයාර්ද්‍ර සටහනක්. ඉංග්‍රීසියෙන් ලියැවිලා තිබුණු ඒ සටහනේ කර්තෘ කවුද කියල කොතැනකවත් තිබුණෙ නැහැ.
 
මට හිතුණා ඒ කතාව තේරෙන සිංහලෙන් ඔයාට ලියන්න.
 
මෙහෙමයි. ඔන්න එක ගැබිනි මවක් ඉන්නවා. එයා අහනවා එයා ගෙ ස්වාමිපුරුෂයාගෙන් බොහොම සරල ප්‍රශ්නයක්.
 
“ඔයා හිතන්නෙ අපිට ලැබෙන්න යන්නෙ පුතෙක් ද දුවෙක් ද?”
 
හැම අම්මා කෙනෙක්ම වගේ අහන මේ ප්‍රශ්නයට තාත්තා දෙනවා අපූර්ව උත්තරයක්. ප්‍රශ්නෙ අපිට සුපුරුදු වුණාට උත්තරේ නම් ටිකක් ආගන්තුකයි. තාත්තා කියන්නෙ මෙහෙම කතාවක්.
 
“අපිට පුතෙක් ලැබුණොත් මම එයාට ගණන් උගන්නනවා. මම එයාව ක්‍රීඩාවලට යොමු කරනවා. ඒ විතරක් නෙවෙයි මාළු බාන්නත් එක්ක යනවා. පිරිමියෙක් කරන්න ඕනා කියල හිතන හැමදේම මම එයාට උගන්නනවා.”
එතකොට අර අම්මට හිනායනවා. හිනා වෙවීම අම්මා අහනවා මෙහෙම.
 
“එතකොට අපිට ලැබෙන්න යන්නෙ දුවක් නම්...?”
අන්න ඒ ප්‍රශ්නෙට තාත්තා දෙන උත්තරේ තමයි මේ සටහනේ සංවේදීම තැන. මගේ හිතෙත් පැටලි පැටලි තිබුණු සිතුවිලි ගොන්නක් හරිම පැහැදිලිව ලිහෙන්න ගත්තා ඒ උත්තරේ ඇහුවම.
 
“දුවෙකුට උගන්නන්න තරම් දෙයක් මං ළඟ තියෙන එකක් නෑ.⁣ මොකද කිව්වොත්, තාත්තෙකුගෙන් ඉගෙන ගන්නවට වඩා දුවගෙන් ඉගෙන ගන්න දේවල් තාත්තෙකුට තියේවි. එයා මට මුල ඉඳලම උගන්නාවි. මම අඳින්න ඕන විදිහ, මම කන්න බොන්න ඕන විදිහ, මම කතා කරන්න ඕන මොනවද? කතා නොකරන්න ඕන මොනවද? මේ වගේ හැම දෙයක්ම එයා මුලක ඉඳලා මට උගන්නාවි. කොටින්ම කිව්වොත් ඇය මගේ දෙවෙනි අම්මා වගේ වේවි. මම මොනව කළත් නැතත් ඇයට මාව වීරයෙක් වගේ පෙනේවි. අනිවාර්යයෙන්ම යම් දවසක ඇය ඇගේ ස්වාමිපුරුෂයා එක්ක මාව සසඳන්න ගනීවි. ඇය මොනතරම් වයසින් මුහුකුරා ගියත් ඇයට උවමනා වේවි මගේ හුරතල් බෝනික්කි වෙන්න. වැදගත්ම දේ, මම වෙනුවෙන් ඇය මුළු ලෝකෙමත් එක්ක වුණත් සටන් කරාවි. මට රිද්දන මනුස්සයෙකුට එයා කවදාවත් සමාව දෙන එකක් නෑ.”
 
තාත්තාගෙ මේ හැඟීම්බර කතාව අහගෙන ඉන්න අම්මා ඉතාම කල්පනාකාරීව මෙහෙම අහනවා.
 
“ඔයා කියන්නෙ පුතෙක් ඔය දේවල් කරන්නෙ නැහැ කියලද?”
 
තාත්තට ඒකටත් තියෙන්නෙ ලස්සන උත්තරයක්.
 
“නෑ.........නෑ.........පුතෙකුත් මේ දේවල් කරාවි. නමුත් පුතෙකුට මේ සියල්ල මුලක ඉඳලා ඉගෙන ගන්න වෙනවා. නමුත් දුවක් අපි ළඟට එන්නෙ උත්පත්තියෙන්ම මේ දේවල් අරගෙන. දුවෙකුගෙ තාත්තා කෙනෙක් වෙන එක මනුස්සයෙකුට ආඩම්බරයක්.”
 
නමුත් ඊළඟටත් තව එක ප්‍රශ්නයක් අම්මට ඉතුරු වෙනවා.
 
“නමුත් දුවක් අපි ළග සඳහටම  රැඳෙන්නෙ නැහැ?”
 
තාත්තා ඒ ගැන නොදන්නවා නෙවෙයි.
 
“ඇත්ත........ ඇය අපි ළග නැතත් අපි එයත් එක්ක ඉඳීවි, ඇගේ හදවතේ, සදහටම රැඳේවි. ඒ නිසා ඇය වෙනත් දිහාවකට ගියා කියල වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. දුවක් කියන්නෙ දේව දූතිකාවක්. එයා උපදින්නෙම කොන්දේසි විරහිත ආදරයක් එක්ක. සදාතනික දයාගුණයක් එක්ක”
 
මේ සටහන සහතික ඇත්ත. දුවක් කියන්නෙ ඇදුරුතුමියක්. දුවක් ලැබුණා කියල දැන ගනිපු මොහොතෙ ඉඳන් තාත්තා කෙනෙක් වෙනස් වෙනවා. වෙනස් විදියට හිතන්න ගන්නවා. එක රැයකින් මුහුකුරා ගියා වගේ දැනෙන්න ගන්නවා.
 
මගේ දුව මට උගන්නපු වැදගත්ම පාඩම තමයි, ස්ත්‍රී වර්ගයා දිහා වෙනස්ම මානයකින් බලන්න මාව පොලඹවපු එක. මම මේ ලියන්නෙත් ඔයා උගන්නපු ඒ පාඩම්. ඉස්සරහට ඉගෙන ගන්න තව ගොඩාක් පාඩම් තියේවි කියලත් තාත්ති දන්නවා.
 
ආදරණිය තාත්තා 
නලින්ද සංජීව ලියනගේ

Body  ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු Read Previous

Body ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු

ආසියාතික රටවල ගොඩක්ම අභියෝගයන්ට ලක් වෙන්නේ ගැහැනු දරුවන්... Read Next

ආසියාතික රටවල ගොඩක්ම අභියෝගයන්ට ලක් වෙන්නේ ගැහැනු දරුවන්...

Realted Post

Leave a comment