පිහි තල වෙනුවට මල් පෙති
ආදරණීය දුවේ,
විශ්ව විද්‍යාලයේ දී තාත්ති ඉගෙන ගත්තා සමාජ විද්‍යාව කියල විෂයක්. සමාජය කියන්නෙ මිනිස්සුන්ගෙන් සමන්විත තැනක් වෙන හින්දම, ඒ විෂයේ අනිවාර්ය කොටසක් තමයි ‘මිනිසා’ ගැන ඉගෙන ගැනීම. මගෙ දුවට හිතෙන්න පුළුවන් ‘මිනිසා’ ගැන මොනව ඉගෙන ගන්නද කියලා. මිනිස්සු කියන්නෙ කොහොමත් මිනිස්සුන්ට නේ ඉතින්, නේද?
නෑ, එහෙම නෙවෙයි, තාත්ති ඉගෙන ගත්තෙ මිනිස්සු ගැන දාර්ශනික ඉගැන්වීම්. දාර්ශනිකයි කිව්වම බය වෙන්න ඕන නෑ ඉතින්. ඇත්තටම ඒක බය වෙන්න ඕන තරම් බැරෑරුම් වචනෙකුත් නෙවෙයි.
ඔයා අහල තියෙනවනේ, සුභාෂිතයේ කවියකුත් තියෙන්නෙ අර, “නපුරු දුදනන්ගෙ සියොළඟෙහිම විෂය” කියලා. ඒ කවියේ වුණත් තියෙන්නෙ මිනිසා ගැන එක්තරා විදියක දාර්ශනික අදහසක් තමයි.
ඔය වගේම අදහස් පළ කරපු දාර්ශනිකයො හිටියා පුරාණ යුරෝපයේ. සමාජ විද්‍යාවට තාත්තිලට ඉගැන්නුවෙ අන්න ඒ ගොල්ලන්ගෙ අදහස් උදහස්. තාත්තිට මතකයි, ඒ අතරෙ හිටපු එක දාර්ශනිකයෙක් කියලා තිබුණා “මිනිසා කියන්නෙ උපතින්ම හොඳ කෙනෙක්, එයාව නරක් කරන්නෙ සමාජය විසින්” කියලා. ඊට සපුරාම එරෙහිව යමින් තවත් කෙනෙක් කිව්වෙ, “අමුතුවෙන් නරක් කරන්න දෙයක් නෑ. මිනිහා කියන්නෙ උපතින්ම තිරිසනෙක්” කියලා.
මේ දෙකෙන් කෝකද හරි කියන එක එදා මෙදා තුර පටන් නොනිමි විවාදයක්.ඒ විවාදයේ පැත්තක් ගන්න නොගන්න එක කෙසේ වෙතත් තාත්තිට හිතෙනවා මෙහෙම දෙයක්.
මිනිසා තුළ තියෙනවා ‘ප්‍රකෘතිය’ කියලා එකක්. අන්න ඒක නම් ටිකක් ලොකු වචනයක්. සරලව තේරුම් ගමු. ඕනෑම මනුස්සයෙක් තුළ තියෙනවා සමහර තිරිසන් ආවේග. ඒ ආවේග සමනය කරලා මනුස්සයා තිරිසනාගේ තැනින් මනසින් උසස් මනුසතා දක්වා ඔසවා තබන එක තමයි ශිෂ්ටාචාරයේ බැරෑරුම්ම කාර්යභාරය වුණේ.
අන්න ඒ වැඩේදි ආගම විසින් යම් වැඩ කොටසක් කළා. ආපනය විසින් විශාල වැඩ කොටසක් කළා.හැබැයි තීරණාත්මකම වැඩ කොටස කරන්න සමත් වුණේ කලාව. ඒක ඔන්න මේ දැන් මගේ ඔළුවට කඩා වැදුණු හිතලුවක් නෙවෙයි. තාත්තිට වඩා උගත් සමාජ විද්‍යාඥයන්ගෙ අදහසක්. යහපත් කලාව ඇසුරු කරන මනුස්සයෙක් තුළ සුපසන් ආධ්‍යාත්මයක් නිර්මාණය වෙනවයි කියන කාරණාව බොරුවක්ම නෙවෙයි.
ඒක හරියට කොයි වගේ ද දන්නවද? ඔන්න අපි ගහකට වතුර දානවා. පොහොර දානවා. මල් පිපිලා, ඵල හටගෙන ගහ ලෝකයට වැඩදායී යුතුකම ඉටු කරන දවසක් එනවම තමයි. හැබැයි මල් පිපිලා ඵල හටගන්නා හැටි අපිට ඇහින් අල්ල ගන්න බෑ. තුන් තිස් පැයේම ඇස් පිය නොසලා බලා උන්නත්. ඒ ක්‍රියාවලිය අපිට අතින් අල්ලන්නත් බෑ.
හැබැයි ගස තුළ එහෙම ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි, යහපත් කලාව මිනිසා ගේ ආධ්‍යාත්මය තුළ වැඩ කරන්නෙත්.
එහෙම කලාවක් ඇසුරු කරන ආදරවන්තයෙකුට මල් පෙති මිසක් පිහි තල අතට ගන්න හිතෙන්නෙ නැහැ.
ආදරය ගැන කතා කරන්න තරම් ඔයා ළපටි වැඩියි කියලා තාත්ති හිතා හිටියේ. ඒත් පහුගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ වුණු අර සිද්ධිය ඔයා සසල කරල කියලා මට තේරෙනවා.
කොහොමත් ඔයා දැන් අර පරණ දින පොත් කියවනවනේ. ඒවගේ අර තරම් කවි ගොඩක් ලියල තියෙන්නෙ කාටද කියල කියන්නත් තාත්තිට සිද්ධ වෙනව නේ. එහෙම කියද්දි කොළඹ සරසවිය කියන්නෙ කොහොමත් මග හරින්න බැරි තැනක්.
ආදරණීය තාත්තා
නලින්ද සංජීව ලියනගේ
Leave a comment