අපිත් දියුණු වෙලා තියේවි එහෙනම්
ආදරණීය දුවේ,
අද තවත් සීතල දවසක්. සීතල අධික දවසක්. අවුරුද්දෙ මේ කාලෙට කොහොමත් එහෙම තමයි. සීතල අධිකව දැනෙන්න ගන්නවා. උඳුවප් මාසෙ උදා වෙන කොට ලංකාවෙ අපිට වුණත් සීතල ටිකක් වැඩිපුර දැනෙනව නේ නේද?
මෙහෙම කිව්වට ඔයාට තේරෙන්නෙ නෑ මේ සීතල කොයිතරම් දරුණු ද කියලා. නිකමට හිතන්නකො, කොරියානුවෙක් වුණත් මේ සීතලේ විනාඩි දහයක් හිටියොත් ආවරණයක් නැතුව ගල් ගැහිලා මැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් පිටරටකින් ආපු අපි ගැන කවර කතා ද?
ගොඩාක් කොරියානුවන් ගෙ ගෙවල් යැ්එ කරලා තියෙන්නේ. සමහර තැන්වලදි අපිටත් එහෙම යැ්එ කරපු කාමර හමුවෙනවා. ඒත් හැම තැනදිම නෙවෙයි. අද මම මේ ඉන්න විදිය දැක්කොත් ඔයාට හිනාව නවත්තගන්න බැරි වෙයි. ඩෙනිම් පහක් ඇඳලා ජර්සි පහක් ඇඳලා කනුයි ඔ`ඵවයි වැහෙන්න තොප්පි තුනක් දාගෙන ඉන්නෙ. කාමරය යැ්එ කරල තියෙනව නම් මෙච්චර දුක් විඳින්න ඕන නෑ. ඒත් කොරියානුවො වුණත් හිතන්නෙ අපි මේ රටට ඇවිත් තියෙන්නෙ දුක් විඳින්න කියල තමයි. අපි එයාලගෙ සේවකයො. වහල්ලු. වහල්ලුන් ගෙ රීරිමාංසෙ සූරාකෑව මිසක් වහල්ලුන්ට සැප දුන්නු රාජ්‍යයක් ලෝක ඉතිහාසෙ කොහේවත් තිබිලා නෑ ඉතින්.
මේ සීතල උහුලගෙන ඉඳිද්දි මට මතක් වෙන්නෙම මම ආසාවෙන් කියවපු නවකතා. දැන් ඔයත් ඒවා කියවන්න පටන් අරන් කියලා මම දන්නවා.
මතකද, අපි හැමෝගෙම අත් පොත වගේ තියෙන ගුරු ගීතේ. සීතල කාලෙට දුයිෂෙයින් අර දරුවන්ව වඩාගෙන ගඟෙන් එගොඩ වෙන හැටි. සීතලට ගිනි තපින්න පිදුරු එකතු කරන හැටි. එතකොට අර වෘකයො පන්නපු භයානක රාත්‍රියේ දුවල දුවල ඇවිත් අර නාකි මනුස්සයගෙ පැල්පතේ උදුන ගාව ගිනි තැපපු හැටි.
තව ඒ වගේ මතකයක් තමයි පාවෙල්. මේ කියන්නෙ ‘අම්මා’ කෘතියෙ හමුවෙන පාවෙල් ගැන නෙවෙයි. නිකොලායි ඔස්ත්රොව්ස්කි ගෙ ‘වානේ පන්නරය ලබපු හැටි’ පොතේ ඉන්න පාවෙල්. ඒ පොතේ වීරයා. මතකද එයා එක රාත්‍රියක රේල් පාරක මිදුනු හිම කඩනවා. එයාගේ හිටපු දුෂ්ට පෙම්වතී එයාට හිනාවෙනවා.
සීතල ගැන කුතුහලය අවුස්සපු ලස්සනම නව කතාව තමයි ‘දොන් නදිය නිසලව ගලා බසී’. සීතලට ගඟක් මිදෙනවයි කියන කාරණාව ඒ පොත කියවපු මුල් කාලෙ මට මවාගන්නම බෑ. සමහර රාත්‍රීන්වලට ගඟ ඉරි තැළෙන සද්දෙ මුළු ගමටම ඇහෙනවා. මම ඒක යාන්තමට හරි මවාගත්තෙ කොහොමද දන්නවද? තාත්ති පුංචි කාලෙ ගම පුරාම රබර් වතු තිබුණා. ඉතින් සමහර කාලවලට තාත්තිලට ඇහෙනවා රබර් ඇට පුපුරන සද්දෙ. මම මවාගත්තා දොන් නදිය ඉරි තළන්නෙත් එහෙම වෙන්නැති කියලා.
මේ සීතල ගැන ලියපු නවකතාවලින් ඇහැට කඳුළක් හිතට බරක් ගෙනාපු නවකතාව තමයි ‘වෘකයන් අතර නග්නව’. බූකන්වල්ඩ් හිර කඳවුරේ යුදෙව් හිරකාරයන්ට ඇඟට හරිහමන් ආවරණයක් නැතිව, සමහර වෙලාවට නිරුවතින් එළියෙ වැඩ කරන්න වෙනවා. දුර්වල සිරකරුවො මේ සීතල දරාගන්න බැරුව මැරිලා වැටෙනවා.
ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් මේ සීතල මට මතක් කරනවා.
අත් දෙක බැඳගෙන වකුටු වෙලා ඉඳගෙන මේ සීතලෙන් බේරෙන්න බෑ. බේරෙන්න නම් වැඩ කරන්නම වෙනවා. ක්‍රියාශීලී වුණාම කොහොමත් සීතල පරාජය කරන්න පුළුවන් නේ.
මේ දවස්වල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තියෙනව නේ. මෙහේ ජනප්‍රියම ක්‍රීඩාව. අපේ නම් ක්‍රිකට් නේ. පාපන්දු වගේ සෙල්ලමක් ඇයි මේ රටේ ජනප්‍රියම කියල හිතුවම මට තේරෙන්නෙ ඒකටත් සීතලත් එක්ක මොකක්හරි සම්බන්ධයක් ඇති කියලා. ක්‍රිකට් ක්‍රීඩාවෙදි වගේ අත් දෙක බැඳගෙන චුවින්ගම් හප හප පිටිටනියෙ කෙළවරකට වෙලා සෙල්පි ගගහ ඉන්න බැහැනේ. හරිම වේගවත් ක්‍රීඩාවක් නේ. ඒ වේගවත්බව මේ සීතලත් එක්ක ඔට්ටු වෙච්ච එකේ ප්‍රතිඵලයක් වෙන්න බැරි ද? නැත්නම් ඉතින් සියලුම සීතල මහාද්වීපවල පාපන්දු, රගර් වගේ වේගවත් ක්‍රීඩා උන්මාදයක් බවට පත් වෙලා අපේ වගේ උණුසුම් දකුණු ආසියානු රටවල්වල ක්‍රිකට් වගේ සාපේක්ෂව මන්දගාමී ක්‍රීඩාවක් ජනප්‍රිය වුණා වෙන්න බැරි ද? ඔන්න ඔයා නිකමට වගේ හිතන්න. මේවා මට මේ සීතලට හිතෙන දේවල්.
හැබැයි එක දෙයක් නම් තාත්තිට හොඳටම විශ්වාසයි. කොරියාව වගේ සීතල රටවල් මේ තරම් යෝධ සංවර්ධනයක් අත් පත් කරගන්න මේ සීතලත් ලොකු පිටුවහලක්. අත් දෙක බැඳගෙන ඔහේ ළතැවි ළතැවි ඉන්න ගියොත් සීතලට ගල් ගැහෙනව නේ. ඉතින් දුවල පැනල ඉන්න වෙනවා. ඒ නිසා කවුරුවත් කම්මැළි නෑ. යකා බැඳගත්ත වගේ වැඩ. අයිස් නැති අපේ රටේ අයිස් ගගහ ඉන්න මිනිස්සුත් එක්ක බලද්දි අයිස් තියෙන රටවල්වල මිනිස්සු අයිස්වලට අභියෝග කරලා සංවර්ධනයේ හිණිපෙත්ත හොයාගත්තෙ එහෙමයි.
එතකොට නම් හිතෙනවා අපේ රටත් සීතල වුණා නම් හොඳයි කියලා. මේ තියෙන විදිය සෞම්‍ය වැඩියි. ඔහේ කම්මැළිකමට ඉන්නවා. දත් මදින්න ගියත් පැය ගාණක් ඔහේ මදිනවා. සීතලත් එක්ක ඒ සෙල්ලම් බෑ. අපිත් එහෙම සීතල රටක් වුණා නම් තාත්තිලට මෙහෙම අනුන්ගෙ දේශයක වහල්ලු වෙන්න උවමනා වෙන්නෙත් නෑ.
ආදරණීය තාත්තා
නලින්ද සංජීව ලියනගේ
Leave a comment