ඔයා ආසද තාත්ති වගේ ලියන්න?

ආදරණීය මගේ දුවේ, 


“ඔයා ලියල තියෙන සමහර සටහන්, සමහර කවි හරිම ලස්සනයි. නංගියි මමයි ඒවා ආයෙ ආයෙ කියවනවා. ඒත් සමහර දේවල් නම් තේරෙන්නෙම නෑ තාත්ති.”


හිතුවත් වගේම, ඔයා තාත්ති ගෙ දින පොත් කියවන්න පටන් අරගෙන. කමක් නෑ. කොහොමත් ඔය ලියල තියෙන දේවල් ගැන මම ඔයත්තෙක්ක යම් දවසක කතා කරන්න හිතන් හිටියෙ. මම බලා උන්නෙ ඔයා ලොකු වෙනකල්. සමහර දේවල් තේරුම් ගන්න කෙනෙක් වයසිනුත් ටිකක් මුහුකුරා යන්න ඕනෑ.


ඔයා ඔය කියන ‘තේරෙන්නෙ නැති දේවල්’  ගැන මම දැන්ම ලියන්නෙ නෑ. ඔයා තව චුට්ටක් ලොකු වෙන්නකො. එහෙම දවසක මට පුළුවන් ඔය නොතේරෙන දේවල්වල අග මුල ඔයාට කියල දෙන්න.
එතකල් ඔයාගෙ කුතුහලය සංසිඳෙන්නත් එක්ක මම පුංචි කතාවක් කියන්නම්. කතාවක්මත් නෙවෙයි. මතකයක්.


නවයෙ දහයෙ පන්තිවල ඉගෙන ගනිපු පුංචි කොලු ගැටයෙක් සන්දියේ පවා, තාත්ති රටේ ලෝකෙ දේවල් ගැන ගොඩක් උනන්දු වුණා. ඒ පුංචි කොලු ගැටයටත් හිතෙන්න ගත්තා, සමහර දේවල් හරි, සමහර දේවල් වැරදියි කියලා. ඒ කියන්නෙ, තමන්ගේම වූ මතිමතාන්තර, අදහස් උදහස් ඒ පුංචි කොල්ලටත් තිබුණා. ඒ අදහස් උදහස් ගැන ඌ ආඩම්බර වුණා.


ඔයා දන්නවද, ඒ අදහස් උදහස් හට ගත්තෙත් නිකන්ම නෙවෙයි, හරිම අපූර්ව ආකාරයකට. අන්න ඒ කතාව තමයි මම අද ඔයාට ලියන්නෙ මේ.


ඔය කියන කාලෙ ගමේ ගෙවල්වල අද වගේ ටීවී රේඩියෝ තිබුණෙ නෑ. ගොඩ දෙනෙක් රටේ ලෝකෙ ගැන විස්තර දැන ගත්තෙ පත්තර කියවලා. අපිට විජය පත්තරේ අරගෙන දෙන සීයා සීයාට කියවන්න ලංකාදීපෙ ගේනවා. ඉතින් උදේ වරුවට එක එක මාමලා නැන්දලා සීයා ගෙ කඩේ ළඟට එකතු වෙනවා පත්තරේ කියවන්න. මාමාලා තමයි වැඩිපුරම. එයාලා පාරෙ තැනින් තැන ඇන තියාගෙන නිසොල්මනේ පත්තරේ කියවනවා. ප්ලේන්ටියක් බිබී, රෝස් පාන් එකක් එහෙම කකා. එක එක්කෙනා පිටුව පිටුව බෙදාගෙන තැනින් තැනට වෙලා පත්තරේ කියවපු ඒ අතීත දසුන මේ දැනුත් මට මැවිලා පේනවා. ඇත්තමයි, දැන් ඒ ගැන සිහිපත් කරද්දි මට හිතෙන්නෙ සීයා ගෙ කඩේ තමයි අපේ ඒ දුප්පත් ගමේ තිබුණු මහජන පුස්තකාලෙ කියලා.


හවස් වරුවට තමයි බලන්න ඕනෙ. ඒ වෙලාවට කඩේ ළඟ පුංචි පාර්ලිමේන්තුවක් වගේ. එක එක පක්ෂවල කට්ටිය. නැන්දලා, මාමලා, සමහරු හීන් අඩියකුත් ගහලා එන්නෙ.


කෙස් පැළෙන තර්ක. ගල් පැලෙන බොරු. අවලාද, අපහාස ඔක්කොම එතැන. හරියට දුව ඔයා දැන් ඔය ප්‍රවෘත්තිවලට දකින පාර්ලිමේන්තුව වගේමයි.


මම කිව්වෙ ඉතින්, තාත්ති ඒ කාලෙ පුංචි කොලු ගැටයා වුණාට, ඒ කොලු ගැටයටත් තමන්ගෙම වුණු මතිමතාන්තර ටිකක් තිබුණා කියලා. අර මාමාලා නැන්දලා දේශපාලනය කියලා කතා කරපු දේවල්වල මොකක්දෝ අවුලක් තියෙනවා කියල තේරුම් ගන්න තරම් ඒ පුංචි වයසෙදිත් තාත්ති ටිකක් පණ්ඩිතයි.


ඒත් ඉතින් පණ්ඩිතකමට වැඩිහිටියොත් එක්ක කට ගහගෙන යන්න බැහැනෙ. තාත්ති කළේ ඒ මාමාලා නැන්දලා කියන දේවල් ගැන තාත්තිට හිතුණු දේවල් ඔය දින පොත්වල ලියනෙක. ඔයා ඔය තේරෙන්නෙ නැති දේවල් කියල කියන්නෙ අන්න ඒ සටහන්වලට.


හැබැයි ඔය පුරුද්දෙන් හොඳක් වුණා. පුංචිම කාලෙදිත් තාත්ති ටිකක් වෙනස් විදියට හිතන්න ගත්තා. ඒ වගේම ඇහුම්කන් දෙන්න කවුරුවත් නැති වෙන කොට ඒ සියලු හැඟීම් අකුරුවලට පෙරළුවා. ලියන්න පෙලඹුණා.
අද මම මෙහෙමවත් ලියන්නෙ ඒ අතීත පුරුද්ද නිසා කියලා මට දැන් හිතෙනවා. ඔන්න අද ඉඳලා ඔයාටත් පුළුවන් ඔයාට හිතෙන හිතෙන දේවල් ලියන්න. ඒක සමහර විට, දවසක ලේඛිකාවක් වීමේ පළමු පියවර වෙයි. උත්සාහ කරල බලන්න.


ආදරණීය තාත්තා 

 

නලින්ද සංජීව ලියනගේ


 

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි Read Previous

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි Read Next

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි

Realted Post

Leave a comment