ඔයාලගෙ පරම්පරාව අයිස්වලින් දිය කරන්න බෑ
ආදරණීය මගේ දුවේ,
ඊයෙ හවස ඔයත්තෙක්ක ස්කයිප් කතා කරද්දි තාත්ති ටිකක් තිගැස්සුණා. අලුත් අවුරුද්දට ගේ අස් පස් කරපු වෙලාවේ ඔයාට තාත්ති ගෙ පැරණි දින පොතක් හමුවෙලා. දැන් ඉතින් මොන මොන ප්‍රශ්න අහයිද දන් නෑ කියලයි තාත්ති තිගැස්සුණේ.
“තාත්තිගෙ හොරයක් අහුවුණා අපිට”
“හොරයක්?”
“හොරෙන් බීඩි බොන්න ගිහිල්ලා තාත්ති සීයගෙන් ගුටි කෑව නේ?”
තාත්තිට එක පාරටම හිනා ගියා. අතීතයට එකතු වුණාට පස්සෙ ඕනම දවසක් ලස්සනට පේනවද මන්දා. හැබැයි ඔය කියන වෙලාවෙ නම් තාත්ති උන්නෙ බය බිරාන්ත වෙලා.
තාත්තිට අද වගේ මතකයි. ඔය සිද්ධිය වුණේ හවස් වරුවක, තේ කෑල්ලෙ ජමනාරන් ගහ යට දි.
ඔය වෙලාවට තමයි දවල්ට කාලා සීයා පොඩි ඇලර්ට් එකක් දාන්නෙ. දවස් දෙක තුනකට විතර කලින් තමයි තාත්ති ඔය බීඩි කොටේ හංගල තිබ්බෙ කුස්සියේ වරිච්චි පතුරක. ගිනි පෙට්ටියත් කොට කලිසමේ දාගෙන හොරා වගේ ජමනාරන් ගහ යටට රිංගුවා. හිතුවෙ වට පිටේ කවුරුවත් නෑ කියලා. පත්තු කරලා උගුරු දෙකක් අදින කොටම තාත්තිට කැස්සක් ආවා. එතකොටම තමයි සිරි නිහාල් අයියගෙ කෑ ගැහිල්ල ඇහුණේ.
“ගුණදාස මාමේ. ගුණදාස මාමේ. මෙන්න ලොකු මල්ලි බීඩි ගහනවා..”
ආයි නෑ, ඇහුණු පමාවට සීයා ජමනාරන් ගහ යට. අත දිග ඇරලා කම්මුල අත ගෑවා .ඊට පස්සෙ දුම් දැම්මෙ කටින් නෙවෙයි, කනෙන්.
ඔය සිද්ධිය වුණේ තාත්ති දහය වසරෙ ඉන්දෙද්දි ද කොහෙද. තාත්ති ට දඬුවම් කළාට මොකද සීයා බීඩි බොන්න පුරුදු වෙලා තියෙන්නෙ පහේ පන්තියෙදි. සීයා ගෙ අක්කා, කිරි ආච්චි දවසක් සීයගෙ කට පිච්චුවලු ගිනි පෙනෙල්ලක් අරන්. ඒත් ඉතින් සීයා නෙවෙයි හැදුනෙ. මැරෙනකල්ම දුම් බොන එක නතර කළේ නෑ. ඒ හින්දම තමයි සීයා දැනගෙන හිටියෙ දුම් බොන එකේ ආදීනව. තමන්ගෙ දරුවනුත් ඒ නරක පුරුද්දට ඇබ්බැහි වෙනවා දකින්න සීයට උවමනා වුණේ නෑ.
එදා තාත්තිට එහෙම වැඩක් කරන්න හිතුණෙ නිකන්ම නිකන් කුතුහලේට. ගමේ ගොඩක් දෙනෙක් බීඩි බොනව දැකල තිබුණු නිසා. මොන වගේ රසක් ද ඒකෙ තියෙන්නෙ කියල බලන්න. තාත්ති ගෙ සමහර යාළුවො ඔය කියන කාලෙම අරක්කුත් බීලා තිබුණා. සිගරැටුත්. සති ගණන් ප්ලෑන් කරලා කොහේ හරි බැද්දක රිංගලා ඔව්ව කලේ මහා ලොකු හපන්කම් කියල හිතලා.
වැඩේ කළා. කුතුහලය සංසිඳුණා. කවුරුවත් ඊට පස්සෙ ඕවට ඇබ්බැහි වුණේ නෑ. හැම යුගයකදිම හැම පරම්පරාවක් අතින්ම ඔහොම දේවල් සිද්ධ වෙනවා. කුතුහලේට ඉලන්දාරිකමට මිසක් කාලකණ්ණිකමට දරුවො ඔව්වා කරනවා නෙවෙයි.
එහෙම වෙලාවට සීයා අර කළා වගේ අත දිග ඇරලා කම්මුල අත ගෑව නම් හරි. නැතිනම් විදුහල්පති තුමාට කියලා වේවැල් පාරවල් දෙකක් දෙන්න ඕනෑ.
ඇරත්, දඩබ්බරකමට යම් යම් දේවල් කළත් ජීවිතේ නාස්ති කරගන්න තරම් දුවලගෙ පරම්පරාව මෝඩ නෑ. ඔයාලා තාත්තිලගෙ පරම්පරාවටත් වඩා බුද්ධිමත්. දැන් බලන්න, ඔයාම වුණත් මොන තරම් තාර්කික විදියට හිතනවද? ඇත්තමයි, ශිෂ්‍යත්ව පේපරේ තිබුණු සමහර ගණිත ගැටලු තේරුම් ගන්න තාත්තිට බෑ. ඒත් බලන්න, ඔයයි නංගියි කොච්චර ලස්සනට ඒවා විසඳනවද?
ගණන් විතරක් නෙවෙයි, සිංදු කියන්න, නටන්න, ක්‍රීඩා කරන්න, ඉදිරිපත් වෙන්න, මේ හැම දේකදිම ඔයාලගෙ පරම්පරාව තාත්තිලගෙ පරම්පරාව ට වඩා ඉස්සරහින් ඉන්නවා.
එහෙම පරම්පරාවක් අයිස්වලින් දිය කරන්න බෑ.
ආදරණීය තාත්තා
Leave a comment