දුවට සොබාදහමේ රහසක් කියන්නද ......

ආදරණීය මගෙ දුවේ,
 තව වසරක් ගෙවී ගිහින් නව වසරක් උදා වෙලා. අපි දෙදහස් විසි තුනටත් ඇවිල්ලා. ජීවිතය කියන පිය ගැටපෙළේ ඔයා තව පඩියක් ගොඩ වෙනවා දැන්. එක පඩියකින් තව පඩියකට නැග්ගට පස්සෙ ඔයාට දකින්න ලැබෙන දර්ශනයත් හැම තිස්සෙම විශාල වෙනවා. වෙලාවකට හිතෙනවා කාලයට බැරි ද මීට වඩා වේගවත් වෙන්න කියලා. එහෙම වෙනව නම් ඔයා ඉක්මනට ලොකු වේවි. තාත්තිට හිතෙන මනස්කාන්ත දේවල් වගේම ඔක්කොම මනස්ගාත ටිකත් එතකොට ඔයා එක්ක බෙදා හදාගන්න පු`ඵවන්.
 
ඒත් කාලය ගලන්නෙ අපිට ඕනෙ මාවතක, අපිට උවමනා වේගයෙන් නෙවෙයි. තමන්ගේම වූ මාවතක තමන්ගේම වූ රිද්මයකින්. ඒ රිද්මය අඳුනගන්න එක වගේම ඒ රිද්මයට අනුවර්තනය වෙන එක තමයි මිනිස්සුන්ගෙ ඉරණම. මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි, මුළුමහත් ස්වභාව ධර්මයේමත් ඉරණම ඒක.
 
දන්න කියන කාලෙක ඉඳලා, නව අවුරුදු උදාවත් එක්ක තාත්තිගෙ හිත කොනිත්තන්නෙ අඹ මල් සුවඳක්. ඔහොම්මම මිදුලට බැහැලා වත්ත මායිමේ අඹ ගස් මණ්ඩියට යන්න. ඔයාට පේනවා ඇති, හැම ගහකම අඹ මල් පිපිලා. සෙවණ පුරා රේණු විසිරිලා. ඔය අඹ ගස් සෙවණ තරම් දිව්‍ය ලෝකයවත් තාත්තිට සුවදායක නැති වේවි.
 
තාත්ති පුංචිම කාලෙ සෙල්ලම් කරපු තැන. පාඩම් කරපු තැන. දුක හිතුණම හැංගුණුතැන. ඔය හැම අඹ ගහකටම තාත්ති ඒ කාලෙ නම් පට බැදලා තිබුණා. ඒවා මහ විකාර නම්. එක්කෙනෙකුට කිව්වෙ ‘බිරියෝසා’ කියලා. ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන් භාෂාවකුත් තාත්ති හොයාගෙන තිබුණෙ. දවසෙ සිද්ද වෙන ලොකු පුංචි හැම සිද්ධියක්ම මේගොල්ලොත් එක්ක දොඩවන්න තාත්ති පුරුදු වෙලා හිටියා. ඒ ගොල්ලො එයාලගෙ පැවැත්මේ සොබාවික රහස් එහෙමත් මාත් එක්ක කිව්වා.
 
මේ කියන්න යන්නෙ එහෙම රහසක්.
 
දෙසැම්බර් අග හරිය වෙද්දි මල් පුබුදුවන හැම ගහක්ම පෙබරවාරි මාර්තු වගේ වෙද්දි අඹ ගෙඩිවලින් බර වෙනවා. මට හොඳටම මතකයි, අන්තිම ගෙඩිය දෙක බිම වැටෙන්නෙ සිංහල අලුත් අවුරුදු සතියේ.
අඹ ඉදීගෙන එන කාලෙට පේන පේන හැම ඉත්තකම කුරුල්ලො. ලේන්නු. වෙනදට තාත්තිට විතරක් ඇරුණු අඹ හෙවණ ඔය කාලෙට පොඩි උන්ගෙන් පිරෙනවා. “අර ගහ මගේ”, “මේ ගහ මගේ” කියලා තාත්ති ලොකු තාත්තිත් එක්ක රණ්ඩු වෙනවත් එක්ක.
 
ඒත්, අන්තිම ගෙඩියත් ඉදිලා වැටිලා ගියාට පස්සෙ ආපහු අඹ මණ්ඩියට පුරුදු පාළුව. තනිකම. කුරුල්ලන්ට, ලේන්නුන්ට පවා ගස් ටික අමතක වෙනවා. වෙසක් මාසෙ වෙනත් පලතුරු හැදෙන අලුත් ගස් හොයාගෙන එයාලත් ඉගිල්ලෙනවා. 
 
තාත්ති එතකොට බිරියෝසාගෙන් අහනවා “ඔයාට දුක ද?” කියලා. සර සර හඬින් හිනා වෙවී එයා උත්තර දෙනවා, “ඔයාලට හිතේ හැටියට පලතුරු ප්‍රදානය කරන එකෙන් තමයි අපි සතුටු වෙන්නෙ, දුක හිතන්න හේතුවක් නෑනෙ” කියලා.
 
ඊට පස්සෙ ගෙවෙන්නේ මහා නිශ්ශබ්ද සමයක්. හැල හොල්මනක් නැති ගාණයි. තාත්ති බිරියෝසාට කියනවා, “ඒත් මට දුකයි ඔයාලා ඔහොම සද්ද නැතුව ඉන්න කොට” කියලා. එතකොට බිරියෝසා කියනවා, “ඔයා ඔහොම හිතුවට මේ කාලෙ තමයි අපිට හොඳටම වැඩ. අපි මේ ඊළඟ පලතුරු වාරයට සාරය රැස් කරනවා” කියලා.
 
මුලින් මුලින් මට තේරුණේ නෑ. ඒත් පස්සෙ පැහැදිලි වුණා.
 
ඔන්න අගෝස්තු සැප්තැම්බර් වෙද්දි පැරණි අඹ කොළ ඔක්කොම බිමට වැටෙනවා. ඒ එයාලා මහ පොළොවෙ ඇවිදින්න ගන්න කාලෙ. ඔක්තෝබර් උදා වෙන්නෙ හැළුණු හැම කොළයක් වෙනුවටම අලුත් දල්ලක් බෝ වෙමින්. ඒ දලු කොළ බවට පත්වෙන්නෙ ගහටත් හොරා. සුළඟටත් හොරා. ආපහු දෙසැම්බර් අග වෙනකොට මල් පිපෙන්න ගන්නවා. ජනවාරිය උදාවෙන්නෙ පුරුදු මිහිරි අඹ මල් සුවඳත් එක්ක.
 
මේ රහස මම ඔයාට කිව්වෙ ඇයි දන්නවද? අර අඹ ගස්වලට වගේම භාවනානුයෝගී සමයක් මිනිස්සු වුණු අපිටත් ඕනෙ. කැලඹිලි නැති, දැඟලිලි නැති, කලබල නැති ශාන්තවත් සමයක්. පිටින් බලන කොට මුකුත් පේන් නැති වෙයි. ඒත් ඒ කාලයේ අපි එකතු කරගන්න ‘සාරයේ’ තරමට තමයි අනාගතය සුවඳවත් වෙන්නෙ. පලබර වෙන්නෙ.
 
ඉතින් මේ නව අවුරුදු උදාවේ, සුබ අලුත් අවුරුද්දකට සුබ පතන අතරේ මම ඔයාට කියන්නෙ සොබාදහමෙ අර රහසත් ඉගෙන ගන්න කියලා.
 
ඔයත් එතකොට අඹ මලක් තරම් සුන්දර වේවි. පිවිතුරු වේවි.
 
ආදරණීය තාත්තා 

නලින්ද සංජීව ලියනගේ 


 

ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්නයි මට ඕනෑ Read Previous

ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්නයි මට ඕනෑ

2025 වසරේ ලෝකයේ සුන්දරම දිවයින ලංකාවයි. Read Next

2025 වසරේ ලෝකයේ සුන්දරම දිවයින ලංකාවයි.

Realted Post

Leave a comment