පසු නොතැවෙන අතීතයකට ජීවිතේ හදාගන්න

ආදරණීය දුවේ, 
ගෙවෙමින් තිබෙන්නෙ සෝබර දවස්. මේ සෝබරබවට හේතුව මේකයි කියල නිශ්චිතවම කියන්න පුළුවන්කමක් මට නැහැ. ඒත්, වෙලාවකට හිතෙනවා, හැම තැනකින්ම හැම වෙලාවකම වගේ අහන්න ලැබෙන්නෙ සෝබර ආරංචි, මේ මූසල සෝබරබවට හේතුව සමහර විට ඒක වෙන්න ඇති.


ජීවිතය එකම තැන එකම විදියට ගල් ගැහිලා තිබුණත් ‘කාලය’ එහෙම නැහැ. අපිට බම්බු ගහගන්න කියලා කාලය තමන්ට උරුම ගමනක සදාතනිකව ගලමින් ඉන්නවා. කාලයේ ඒ සංසාරය තරම් දිග මහා දැවැන්ත ප්‍රවාහය ගැන හිතද්දි ජීවිතය කියන්නෙ ඇසිපිය සලන තරම් සිහින් නිමේෂයක් විතරයි.


තාත්තිලගෙ පුංචි කාලෙ වීරයො එකා දෙන්නා නිශ්ශබ්දවම තමන්ට උරුම ජීවන රඟමඬලෙන් බැහැලා යනවා. නිහාල් නෙල්සන් කියන්නෙ එහෙම වීරයෙක්. නුවන් ගුණවර්ධන කියන්නෙ එහෙම වීරයෙක්.
ආදරය ගැන හයක් හතරක් නොදන්න කාලෙත් තාත්ති සමහර සිංදුවලට මාරම කැමැත්තකින් හිටියා.


කිරි මූදු වෙරළේ
නැළවී තරංගා
කාගේද පිළි රූ මැවේ
ඒ රූප චායා
ඔබගේ නොවේ දෝ
ඔයත් අහල ඇති, තාත්ති ඕනෙ තරම් මේ සිංදුව කියනවා.


එකමත් එක කාලෙක, මුළු ගම්මානෙටම තිබුණෙ එකම එක ටී.වී එකයි. ඒකත් කළු සුදු. රෑ හත අට විතර වෙද්දි මුළු ගමම වගේ හුළු අතු බැඳගෙන අර ගෙදර මිදුලට එකතු වෙනවා. අන්න ඒ තරම් දුරාතීතේ දවසක තමයි තාත්ති ඉස් ඉස්සෙල්ලම දැක්කෙ නිහාල් නෙල්සන් මාමා සිංදු කියන හැටි.


ලස්සනට පිපුණු වන මල් 
ගල් පීරන දියවැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක 
ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්


ඔයාලා සෙල්ලම් ගෙවල් හදනව වගේ තාත්තිලා ඒ කාලෙ සෙල්ලං සංගීත සංදර්ශන තියනවා මිදුලෙ. කෝටුවක් මයික් එක වගේ අතින් අතට මාරු කර කර, ඔළුවත් එහෙට මෙහෙට ගස්ස ගස්ස තාත්ති නිහාල් නෙල්සන් කෙනෙක් වෙන්න දඟලපු හැටි දැන් නම් හිනාත් යන දුකත් හිතෙන මතකයක්.


කොච්චර දුක හිතුණත් ඒ දවස් ආයෙත් එන්නෙ නෑ. ජීවිතේ එහෙමයි. මතක සුවඳක් විතරක් ඉතිරි කරලා කාලය හෙමින් සීරුවේ මුකුලිත වෙනවා.
මේ සෝබර බව හින්දමද මන්දා, තාත්තිට නිකමට වගේ කවි⁣දෙ පදයක් ලියැවුණා.


“ජීවිතය යැයි කියන චපල පිනි බිංදුවේ
සාගරය සා කඳුළු කවුරුන්ද හැංගුවේ?”


ලියල ඉවර වුණාම තමයි මතක් වුණේ, රත්න ශ්‍රී කවියා මෑතකදී හරි අපූරු කවියක් ලියල තිබුණා. කවිය මතක නෑ. අදහස මතකයි.


“ජීවිතය කෙටියි තමයි. ඒත් පව් කරන්න කාලය ඕනෙ තරම් තියෙනවා...”


ඒ කවි සංකල්පනාවට නම් තාත්ති තිගැස්සුණා. මීට කලින් නොහැඟුණු යමක් ඒ තුළ තියෙනවා වගේ දැනුණා. කෙටියි තමයි. අස්ථිරයි තමයි. අනිත්‍යයි තමයි. ඒත් ඒ කිසිවකින් ජීවිතය සතු අසිරිමත් බව අවලංගු වෙන්නෙ නැහැ. ඒ අසිරිය සදාතනික කරගන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? අපි හැමවිටම යහපත් දේවල්ම කරමු. යහපත් දේවල්ම හිතමු. යහපතම පතමු. අතීතය පිළිබඳව පසුතැවීමක් ඉතිරි නොවෙන විදියට දවස් ගෙවමු. හැම මොහොතකටම වටිනාකමක් එකතු කරමු. ගෙවෙන මොහොත සමරමු. මේ නත්තලට තාත්ති ඔයාට දෙන පණිවිඩය තමයි ඒ.
ආදරණීය තාත්තා 

නලින්ද සංජීව ලියනගේ


 

වැටුප රකින - ක්‍රමේ රහස Read Previous

වැටුප රකින - ක්‍රමේ රහස

අලුත් විදියට පපායා විත් ග්‍රීන් සැලඩ් Read Next

අලුත් විදියට පපායා විත් ග්‍රීන් සැලඩ්

Realted Post

Leave a comment