ආකර්ෂණය කියන්නේ ආදරයමද ?

ස්වභාවයෙන්ම  වර්ගයා ප්‍රජනනය සඳහා, එනම් පැවැත්ම උදෙසා අනෙකාව පොලඹවා ගැනීම මිනිස්සු ඇතුළු අනෙකුත් සෑම සත්වයෙක්ටම පොදු දෙයක්.
සම්බන්ධතාවක මුලින්ම ඇතිවන්නේ ආකර්ෂණයයි. නමුත් ආකර්ෂණය කියන්නේ හැමවිටම ආදරයද ?
මිනිස් සම්බන්ධතාවක තිබෙන ලොකුම අභියෝගය තමයි ආකර්ෂණය මත එකිනෙකාට ළං වුණු මිනිස්සු අනෙකා වෙනස්ව යද්දීත් ඒ වෙනස දරාගෙන එකට ඉන්න පුලුවන්ද කියන එක.
ලිංගික රසායනය වෙනස් වෙද්දීත් එකට ඉන්න පුළුවන්ද කියන එක. ආදරය සැබෑවටම ආකර්ෂණයෙන් වෙනස් වන්නේ ඒ නිසා.
කෙනෙකුට ජීවිතයේ විඩාබර නොවූ ආදරයක් හිමිකර ගන්න ඕනේ නම් වෙනස් වීම කියන සදාතනික සත්‍යයට මුහුණ දෙන්න වගේම එය ගැඹුරින් තේරුම් ගත යුතු වනවා.  එහෙම කෙනෙකුට ප්‍රේමය සම්බන්ධයෙන් මොහොතක පශ්චත්තාපවීමක්වත් ඇති වන්නෙ නැහැ. 
මරියා නම් සුන්දර බුද්ධිමත්  කාන්තාව මුල්කරගෙන, ආදරය ලිංගිකත්වය සහ ආත්මීය සන්තානයන් පිළිබඳ  *පාවුලෝ කොයියෝ * නම් ලෝක ප්‍රසිද්ධ නවකතාකරු විසින් රචිත මිනිත්තු එකොළහේ කතන්දරය නම් කෘතියේ  එක් තැනක මෙසේ සඳහන් වෙනවා.
"ඇඳුම් උනා දැමීමට, ව්‍යාජ කතා බහකට හැරුණම ලිංගික කර්තව්‍යයකට ඇත්තටම ගත වන්නේ මිනිත්තු එකොළහක් පමණයි නමුත්..
ආදරේ කරන ඕන කෙනෙක්, ඒ ගොල්ලො එකට නොහිටියත්, හැම තිස්සෙම ලිංගිකව හැසිරෙනවා. සිරුරු දෙකක් එකට මුණ ගැහුණම ඒක කුසලානය උතුරා යෑමක් විතරයි. ඒ ගොල්ලන්ට පැය ගණනක් එකට ඉන්න පුළුවන්. සමහර විට දවස් ගාණක් පවා. 
ප්‍රේමය පරයා ලිංගිකත්වය ඉක්මවා යනවා කියන්නේ එතැන පවතින්නේ නොසැනසීම නොවේද ? එහෙමත් නැතිනම් මිනිත්තු එකොළහක සියලු සැනසීම් තෘප්තිමත්වීම් තීරණය කළ හැකිද?
මේ තමයි සැබෑ ආදරයේත් ආකර්ෂණයේත් වෙනස. ආදරය නිසා ඇතිවන රාගයෙත් රාගය නිසා ඇතිවන ආදරයෙත් වෙනස.  මෙය අහසට පොළව වගෙයි. සැබෑම ආදරය කිසිම දවසක රමණයකින් අහවර කරන්න බැහැ. ඒක ආත්මීය එක්කාසු වීමක්. කිසිදා නිමා නොවන වින්දනයක්. ඒ වගේම, වටහා ගතහොත් සැබෑ ආදරය කියන්නේ ගැඹුරු ජීවන දර්ශනයක්.

Banana bread ගුණයිද ? Read Previous

Banana bread ගුණයිද ?

බර අඩු කරගන්න හිතන ඔබට බිත්තරවලින් ලැබෙන වාසි 6ක් Read Next

බර අඩු කරගන්න හිතන ඔබට බිත්තරවලින් ලැබෙන වාසි 6ක්

Realted Post

Leave a comment