ගෙට අලුත් කෑල්ලක් ගන්නවද?

 

පැරණි නිවසට කරන වෙනස්කම් සොයාගත නොහැකි තරම් සූක්ෂමව  කළ යුතුය. මේ කටයුතු වැඩි ප්‍රමාණයක් තාක්ෂණ අංශයට මුල්තැන ලබා දී කළ යුතු ඒවාය.
 
පදිංචිව සිටින නිවසට කාලයේ තාලයට ගැුළපෙන විදියට අලුත් පෙනුමක් ලබාදීමට කවුරුත් කැමතිය. විශේෂයෙන් මේ කාලයේ සියලු භාණ්ඩවල මිල ගණන් ඉතා අධික ලෙස ඉහළ ගිහින් තිබෙන නිසාම, අලුතින් නිවසක් හදනවාට වඩා තමන්ගේ තිබෙන නිවසට නව පෙනුමක් එකතු කිරීමට වැඩි දෙනෙක් උත්සහ ගනිති. එවැනි බලාපොරොත්තුවක් සහ සිහිනයක් ඔබටත් තිබෙනවා නම් මේ ලිපිය වැදගත් වනු ඇත. 
 
 
පරණ නිවසට නව පෙනුමක් මොකටද? 

උපදෙස් - 
ප්‍රවීන වාස්තු විද්‍යා විශාරද, සිවිල් 
ඉන්ජිනේරු, 

දේවිකා එරමුදුගොඩ

 

නවීන පෙනුමක් නිවසට ලබාදීම, පවතින නිවසට තවත් කොටස් එකතු කර විශාල කිරීම, නිවසේ වහලය - උළුවහු ආදිය දිරා ගොස් හෝ බිත්ති පුපුරා ඇති අවස්ථාවකදී, ඒවා පිළිසකර කර වැඩිදියුණු කරන ගමන්ම කාලයට ගැළපෙන නවීන පෙනුමක් ලබා ගැනීමට උත්සාහ කිරීම, වාස්තු දෝෂ පරීක්ෂා කර ඒවා නිවැරදි කිරීමට බලාපොරොත්තුවීම ආදී විවිධ කරුණු බොහෝමයක් මෙයට හේතුවිය හැකිය.
 
කෙසේ නමුත් ඔබ මෙහිදී දැනගත යුතු විශේෂ කාරණයක් ඇත. ඒ ඔබේ අතේ තිබෙන මුදල හා කළ යුතු කාර්යය ගැන මුලදීම නිසි අවබෝධයක් ලබා ගැනීමයි. සෑදු පැරණි නිවසකට අලුත් ජීවයක් ලබා දීමේදී ඉදිකිරීමේ කටයුතු සඳහා ගතවන කාලය සාපේක්ෂව වැඩිවිය හැකිය. එම නිසා නිවසේ තිබෙන බිත්ති නොකඩා ඉතිරි කළ යුතු කොටස්වල ආරක්ෂාව, අවශ්‍ය අත්තිවාරම් කැපීම, ඇතැම් බිත්ති පරිස්සමින් ගැලවීම, වහලයේ සිවිලිම, - පොළොවේ ටයිල් ආදියට හානි නොවීමට පිළියම් යෙදීම වැනි කටයුතු ගැන අවධානයෙන් මෙම වෙනස්කම් කළ යුතුය. 
 
කොන්ක්‍රීට් කණු ආදිය දමා ඉහළ මහලක් ඉදිකරනවා නම් ඇතැම් විට නිවසේ බිත්තිවලට පිටතින් කණු යෙදීමට සිදුවිය හැකිය. එහෙත් මේ කණු එකතු කිරීම නිවසට අවලස්සනක් නොවිය යුතුය. නිවස ඇතුළත මේ ආකාරයෙන් කණු යෙදීමේදී පොළොවේ තිබෙන ටයිල් ආදිය කපා ඉවත් කිරීමට සිදු වේ. එමෙන්ම බිත්ති සහ වහලයේ ඇතැම් කොටස් ගැලවීමෙන් විදුලි පද්ධතියේ යම් නවීකරණයක් අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ දේවල් සඳහා අවම වියදමක් සිදුවන ආකාරයට මුලදීම නිවසේ වෙනස්කම් සැලසුම් කිරීම ඉතාම වැදගත් වේ. කෙටියෙන්ම කියනවා නම් නව වෙනස්කම් නිසා නිවසේ අලුත් පෙනුම අවලස්සන වී, නිවෙසට ඇටවූවා වැනි පෙනුමක් එකතු නොවිය යුතුය. විය යුත්තේ පැරණි නිවසට කරන ලද වෙනස්කම් සොයාගත නොහැකි තරම් සූක්ෂමව කිරීමයි. මේ කටයුතු වැඩි ප්‍රමාණයක් තාක්ෂණ අංශයට මුල්තැන ලබා දී කළ යුතු ඒවාය.
 
 
වැඩ පටන් ගන්නෙ කොහොමද? 
මෙතෙක් කල් තමන් ජීවත් වූ පැරණි නිවසේ නවීකරණ කටයුතු ආරම්භ කළ යුත්තේ ශුභ වෙලාවකට අනුව චාරිත්‍රානුකූලව ය. ඒ වගේම නැකතකට තබා ඇති දොර හෝ වහලයේ කොටස් ඉවත් කිරීමේ කටයුතු කළ යුත්තේද ශුභ වෙලාවකට අනුවය. අලුතින් ස්ථාපනය කිරීමේ කටයුතුද සුබ මුහුර්තවලට සිදුකිරීම වැදගත් වේ. ශුභ වේලාවන්ට අනුව මෙම කාර්යයන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය අතින් ශක්තිමත්ව, කිසිදු බාධක කම්කටොලු, හානියක්, පීඩාවක් සිදු නොවී සාර්ථකව වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරගැනීමට හැකිවීමය. එසේ අවසන් කිරීමත් සමග ඔබ විසින් වූ බාරහාර ආදියද නිසි කලට ඉෂ්ට කිරීමද යුතුකමකි. බාරහාර වීම හා ඒවා නිදහස් කිරීම යනු මූලිකවම දෘශ්‍ය,- අදෘශ්‍ය පාර්ශ්ව අතර ඇති ගනුදෙනුවකි. අලුත් නිවසක් සෑදීමේදී වාගේම පැරණි නිවසක මෙවන් වෙනස්කම් කිරීමේදී ඉහත ආකාරයේ ගනුදෙනු, බාරහාර නිසි ආකාරයට ඉටු කිරීමෙන් පසු, නැවත නිවසේ පදිංචි වූ විට ලැබෙන මානසික සහනය අති මහත්ය.
 
ඉහත සියලු දේට අමතරව වැදගත්ම කාරණය වන්නේ නිවසේ වෙනස්කම් වාස්තු විද්‍යානුකූලව සිදුකිරීමයි. විවිධ හැඩයේ වටිනාකමින් වැඩි නිවාස නිර්මාණය කළත්, ඒ සෑම නිවසකින්ම නිවැසියන්ට සෙත, සුබසාධනය, නිරෝගී දිවි පැවැත්ම ආදිය ලැබෙන්නේ නැත. සාර්ථක නිවසක් ඉදිකිරීමේ කලාව එනම් ‘වාස්තු විද්‍යාවම’ මෙහිදී මූලික වන්නේ ඒනිසාය.
 

 

 
 
වාස්තු දෝෂ මඟහැරගන්න
දෝෂ සහිතව සෑදු නිවසක් හරියටම රෝගියෙක් වැනිය. මතුපිටින් බලා රෝගයට හේතු සාධක කීපයක් සොයා ගෙන පිළියම් කිරීමේදී, යම් රෝග පාලනයක් හෝ ඇතැම් විට තිබෙන රෝගය උත්සන්න වීමත් සිදුවිය හැකියි. නිසියාකාරයෙන් රෝග මූලයන්, නිධාන ගත තත්ත්වයන් සොයාගෙන පිළියම් කළ විට නිට්ටාවටම එය සුව කළ හැකිය. ඒ අනුව නිවසේ පරීක්ෂණ වාර්තාවන් වනුයේ ඔබේ හඳහන්පත්, ඉඩම සම්බන්ධ විස්තර ලබාදෙන මිනින්දෝරු සැලැස්ම සහ සම්පූර්ණ නිවසටම කරන ලද සැලැස්ම ආදියයි. මෙය හරියටම නිවසේ සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂාවක් වැනිය. නිවසේ සියලුම රෝග ස්ථාන හඳුනාගෙන ඒවාට පිළියම් කිරීමේ නිවැරදිම හා සාර්ථකම කාර්ය මෙයයි. රෝගී නිවසට පිළියම් යොදන වාස්තුවේදියා වෛද්‍යවරයෙකු වැනිය. වෙනස තිබෙන්නේ නිවසට වෙදකම් කර නිවැසියන් සුවපත් කිරීමය.
 
මෙහි දැක්වෙන්නේ, පදිංචි පැරණි නිවසේ වාස්තු විශ්ලේෂණයක් සිදුකර වාස්තු දෝෂයන් නිවැරදිකර කාලයට ගැළපෙන සේ නිවසට නව පෙනුමක් ලබා දීමට බලාපොරොත්තු වෙමින් කළ ත්‍රිමාන රූපී නිර්මාණයකි. දැනට තිබෙන සැබෑ නිවෙසද මෙහි ඇත. විශාල මුදලක් වියදම් නොකර නිවසට යම් නවීන පෙනුමක් ලබාදුන් පසුව දිස්වන ආකාරය ඔබට සංසන්දනය කළ හැකිය. බැලු බැල්මට තනි පල වහල කොටස් දක්නට තිබුණත්, මූලික වාස්තු න්‍යායන් පිළිපදිමින් සියලුම අංශ නිවැරදිවම පෙළ ගස්වා වෙනස්කම් කිරීමෙන් දෝෂ ඇති නොවේ.
 
ඔබත්, පදිංචිව සිටින නිවසට යම් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඊට කලින් මෙම ලිපියේ ඇති සරල උපදෙස් අධ්‍යයනය කර අනුගමනය කිරීමට හැකි නම් ඔබ බලාපොරොත්තුවන සිහිනයට පියමැනිය හැකිය.
 

සටහන - නයනා උදයංගනී
                   
 

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Previous

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

International Mother’s Day Read Next

International Mother’s Day

Realted Post

Leave a comment