පොළෙන් ගෙනෙන එළවළු ලිස්ට් එකෙන් අමු මිරිස් ඉවතට

 

නිවෙසට එදිනෙදා අවශ්‍ය එළවළුවක් දෙකක් ගෙවත්තේ වගාකර ගැනීම අද ගෘහිණියො පුරුද්දක් කරගෙන. පවතින ආර්ථික ගැටලුවලට එවැනි සුළු දෙයක් වුවත් විශාල වාසියක් වගේම හිතටත් සහනයක්. එහෙත් තට්ටු නිවාසවල, පේළි නිවාසවල ජීවත්වන බොහෝ ගෘහිණියො තවමත් මැසිවිලි නගන්නෙ පැළයක් සිටුවා ගන්න ඇති ඉඩමදිකම ගැනයි.  අද වෙද්දි ගම්බද ප්‍රදේශවලත් ඉඩකඩම් කුඩා කොටස්වලට බෙදිලා වෙන්වෙලා නිසා ඔවුන්ටත් වගා කරන්න තිබෙන්නේ ඉතා සීමිත ඉඩක් පමණයි. 


අඩු ඉඩක වගා කිරීම අභියෝගයක් වුවත් උනන්දුව කැපවීම තිබේ නම් බඳුන්ගත වගාව මෙවැනි තැන්වල ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. 

 


ඕනෑම ප්‍රදේශයක වවන්න පුළුවන් 
අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වසර පුරාම මිරිස් වගා කරන්න පුළුවන්. බඳුන්ගත වගාවකදී වගා බිම එතරම් වැදගත් නොවන නිසා වගාව සිදුකරන බඳුන් හොඳින් ජලය බැසයන, හිරු එළිය වැටෙන ස්ථානයක තැබිය යුතුයි. ඒ වගේම අධික උණුසුම වගේම අධික වර්ෂාවත් මිරිස් වගාවට සුදුසු නැහැ. බඳුන්ගත වගාවේදී පැළ ලබා ගැනීමට බඳුන් තවාන් යොදා ගැනීම සුදුසුය. මේ සඳහා අඟල් 2ක තැටිවල සාදාගත් පැළ සුදුසුය. සාමාන්‍යයෙන් මිරිස් බීජ 1000ක බර ග්‍රෑම් 5ක් පමණ වන හෙයින් තම වගාව සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණය තීරණය කරගන්න. නිරෝගී පැළ නිපදවා ගැනීමට තවාන හොඳින් නඩත්තු කළ යුතුයි.

 

 
මාධ්‍ය සකසන හැටි
කාබනික ද්‍රව්‍ය අඩංගු ගැඹුරු ලෝම පස මිරිස් වගාවට ඉතා යෝග්‍ය ය. මතුපිට පස් හා කොම්පෝස්ට් සමව මිශ්‍ර කර එයට දහයියා අඟුරු කොටස් භාගයක් එකතු කිරීමෙන් මාධ්‍යයේ ගුණාත්මක භාවය වැඩිකරගත හැකිය. මිරිස් ගසක මුල තරමක් ගැඹුරට වැඩෙන නිසා වගාවට බඳුන් තෝරා ගැනීම වැදගත්ය. කිලෝ 10 සහල් බෑග්, අඟල් 14 ක් වන කළු පොලිතින්වලින් අඟල් 15ක් උසට කපා සාදාගත් බෑග් ඉතා යෝග්‍යය. 

 


පැළය සිටුවන නිවැරදි ක්‍රමය 
බඳුනේ සිටුවීමට සුදුසු දින 25 - 30 වයසැති පත්‍ර 5 -6ක් සහිත අඟල් 6ක් පමණ උස නිරෝගී පැළය. පැළ සිටුවනවිට පසෙහි ප්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුය. එක බඳුනක පැළ දෙකක් සිටුවිය හැකිය. සිටුවීමේදී මුල් හොඳින් තදවන සේ පැළ සිටුවිය යුතු අතර ඒ සඳහා වඩා යෝග්‍ය සවස් කාලයයි. පැළ සිටුවීමෙන් පසු ජලය යෙදිය යුතුය. බඳුන්ගත වගාවේදී පැළය හා ගැටෙන්නේ සීමිත පස් ප්‍රමාණයක් බැවින් හා බඳුන්වලදී හොඳින් ජලවහනය සිදුවන නිසා මූල මණ්ඩලය අවට තෙත රඳවාගැනීම කළ යුතුය. පොහොර වෙළෙඳපොළේ ඇති මිරිස් පොහොර හෝ යූරියා,  ත්‍රිත්ව යූරියා, සුපර් ෆොස්පේට් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර 3:2:2 අනුපාතයට සදාගත් මිශ්‍රණයෙන් සති 2කට වරක් එක් බඳුනකට ග්‍රෑම් 5 - 10 අතර යොදන්න. පැළවලට හැකිතාක් ඈතින් වන සේ පැළය වටා පොහොර යොදා පසෙන් යට කිරීම සුදුසුය. බඳුන් තුළ මෙන්ම බඳුන් අවට පරිසරයේ වල් පැළ ඉවත් කළ යුතුය. වගාව අවට රෝග හා පළිබෝධ දාරක ශාක ඉවත් කළ යුතුය. 

 


ජලය යොදන හැටි 

අදහස් දැක්වීම - 
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ 
කේ.බී. ගුණරත්න

 


බඳුන්වලට ජලය යෙදීමේදී ක්‍රමයෙන් බඳුනේ වගා මාධ්‍ය තද වීමෙන් පස ඉවත්වීම සිදුවන බැවින් පස බුරුල් කර පොහොර යොදා වගා මාධ්‍ය වරින්වර බඳුනට එක්කිරීම සුදුසුය. 

 


රෝග හඳුනාගනිමු 
කොළ කොඩවීම, කරල් විදින දළඹුවන්ගේ හානිය, දිලීර හා වයිරස් රෝග මිරිස් වගාවට වැලඳෙන රෝග අතර ප්‍රධාන වේ. පැළ මැක්කා, කූඩිත්තා සහ මයිටාවා යන කුඩා සතුන් ළපටි පත්‍රවලින් යුෂ උරා බීම නිසාත් සුදු මැස්සා විසින් පතුරවන වයිරසයක් නිසාත් ඇතිවන කොළ කොඩවීම මිරිස් වගාවේ ප්‍රධාන පළිබෝධ හානිය වේ. බඳුන්ගත වගාවේදී එතරම් හානි සිදු නොවන අතර මෙම වගාවේදී  අවධානය වැඩි හෙයින් පළිබෝධ හානි පහසුවෙන් මර්දනය කරගත හැකිය. පැළ මැක්කාගේ හානියෙන් පත්‍ර උඩු අතට රෝල්වන අතර මයිටාවන්ගේ හානියෙන් පත්‍ර යටි අතට රෝල් වී පත්‍ර බොකුටු වේ. කූඩිත්තාගේ හානියෙන් පත්‍ර කහ පැහැ ගැන්වීම සිදුවන අතර නාරටි පෑදීම, ශාකය කුරු වීම, කොළ කොඩ වීම  සිදු වේ. කරල් විදින දළඹුවන් පත්‍ර අංකුර, මල් හා කරල් ආහාරයට ගනිමින් වගාවට හානි සිදුකරයි. තවද පත්‍ර ලප, රිකිලි කුණුවීම, කඳ පාමුල කුණුවීම, දිලීර,⁣වයිරස් රෝගවලට අමතරව මිරිස් වගාවට සිදුවන හානි අතර වේ.  

 

ගෙදරම පොහොර හදමු
බඳුන්ගත වගාවට රසායනික පළිබෝධ නාශක යෙදීම එතරම් ප්‍රායෝගික නොවන්නේ ආර්ථිකව ලාභදායී නොවන නිසා ය. ගුණාත්මක බීජවලින් වගාව ආරම්භ කොට තවාන් අවධියේ සිටම සැලකිලිමත් වී රෝග පාලනය කිරීම වැදගත්ය. 

 


මේ ක්‍රමත් වැදගත් 
නව වගාව ආරම්භ කිරීමට පෙර පැරණි වගාව ඉවත් කරන්න. බඳුන්ගත වගාවේදී ජලවහන තත්ත්වය දියුණු කරගන්න. පිදුරු හෝ වියළි තණකොළ වසුන් යොදන්න. වල් පැළ විනාශ කර වගාව අවට පිරිසුදු කරගන්න. වතුර යෙදීමේදි වැඩි පීඩනයකින් යොදන්න. රෙදි සෝදන කුඩු, සබන් වතුර ඉසින්න. කොහොඹ ඇට සාරයෙන් සැදූ දියරය සතිපතා යොදන්න. මදුරුතලා, ගඳපාන, පොඩිසිංඤොමරන් , ගිරිසීඩියා, සුදුලුනු, ගොම මිශ්‍ර කර එම ද්‍රාවණය සතිපතා යොදන්න. 

 


කරල් කඩන කාලේ 
බඳුන්ගත වගාවේදී පැළ සිටුවා දින 75 - 80ත් අතර පළමු අස්වැන්න නෙළීමට හැකිය. වගාව හොඳින් නඩත්තු කරන්නේ නම් සතියකට වරක් මාස හතරක පමණ කාලයක් අස්වනු නෙළිය හැකිය. හොඳින් මේරූ කරල් පමණක් නෙළාගන්න. බඳුන්ගත වගාවක වුවද පැළ කිහිපයක් සිටුවා ගන්නේ නම් නිවෙසේ පරිභෝජනයට අමතරව අමතර ආදායමක්ද අලෙවි කොට උපයා ගත හැකිය. 

 


සුජිත් ප්‍රසංග


 

 

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Previous

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Next

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

Realted Post

Leave a comment