වතුර පොහොර නැතුවත් හැදෙන තෝර පරිප්පු

 

ඕනෑම ආහාරයක් සමග ගළපාගැනීමට හැකිවී   නිසා අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පරිප්පු පත් වී අවසන්ය.   බත්, පාන්, ඉදිආප්ප, සහ රොටී වැනි ඕනෑම ආහාරයක් සමග පරිප්පු ගැළපෙන අතර රනිල කුලයට අයත් ශාකයක් වන පරිප්පු ද්‍රවිඩ වෙළෙඳුන්  විසින් ලංකාවට රැගෙන ආ බවට සඳහන් වේ.


මයිසූර්, කඩල, වටානා, මුං සහ තෝර ලෙස පරිප්පු වර්ග කීපයක්ම වෙළඳපොළේ තිබේ. 


ජලය නොමැතිකම නිසා  විශාල ඉඩම් ප්‍රමාණයක් අපේ රට තුළ පුරන්වීමත්, වර්ෂාව ඉලක්ක කරගෙන වගා කරන ඇතැම් බෝග වර්ග අනපේක්ෂිත නියඟය නිසා පාළු වීම තුළත් නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහෝ කලක සිට තිබුණි.


වසර 1960-1970 වැනි කාලවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තෝර පරිප්පු බෝගය ලංකාවේ වගා කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර සාර්ථකව වගා කළත් කරල් විදින පණුවාගේ හානිය නිසා අවසානයේ අසාර්ථක  උත්සාහයක් බවට පත්විය.  පණු හානියට ස්ථිර විසඳුමක් සොයා ගැනීමට ගත් උත්සාහයන් ඵල රහිතවීම නිසා එම ව්‍යාපෘතිය අතරමග නතර කර තවත් වසර කීපයකට පසු නැවත තෝර පරිප්පු වගා කිරීමට කෘෂිකර්ම උපදේශකවරු කටයුතු  කළහ.


දෙවැනි උත්සාහයේදී  නියමිත කාලයට අස්වනු නෙළා ගැනීමට නොහැකි වීම සහ පියලි කිරීම සම්බන්ධව  ඇතිවූ දුෂ්කරතා නිසා තෝර පරිප්පු ව්‍යාපෘතිය නැවත වරක් අසාර්ථක විය.

 

 


වියළි කලාපයට සම්පතක්
ලංකාවේ දේශගුණ තත්ත්ව යටතේ වගා කළ නොහැකි මයිසූර් පරිප්පුවලට ආසන්නතම ආදේශකයක් ලෙසත් තෝර පරිප්පු හඳුනාගෙන ඇත. පහසුවෙන් වගා කළ හැකි වීමත් වෙනත් භෝගවලට සාපේක්ෂව අවම පොහොර ප්‍රමාණයකින් සෑහීමකට පත්වීමත් මෙහි ඇති විශේෂත්වයකි. ශක්තිමත් මූල පද්ධතියකට උරුමකම් කියන තෝර පරිප්පු ශාකය, නිසරු පසක් සහිත ස්ථානවලට වගේම  සමස්ත වියළි කලාපයටම  සම්පතක් ලෙස හැඳින්විය හැකිය. 


රනිල කුලයට අයත් ශාකයක් නිසා මුල් ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියා ආධාරයෙන් වායුගෝලීය නයිට්‍රජන් උරාගෙන ඒ තුළින් විවිධ සංයෝග සාදා පසට එකතු කරන නිසා තෝර පරිප්පු සඳහා නයිට්‍රජන් පොහොර වැඩි වශයෙන් යෙදීමට අවශ්‍ය නැත. වගාව අවසානයේ පසේ ඉතිරිවන නයිට්‍රජන් පදාර්ථය, තෝර පරිප්පුවලින් පසුව වවන වගාවකට වුවද ප්‍රයෝජනවත් වෙයි.

 


බීජ තවානක් 
තෝර පරිප්පු ගසක් ඔබේ ගෙවත්තේ පැළ කර ගැනීමට කරල්වලින් බීජ වෙන්කර කොම්පෝස්ට් අඩංගු පස් මිශ්‍රණයක ඇඟිලි පුරුකක් පමණ ගැඹුරට සිදුරු කීපයක් සාදා බීජ තැන්පත් කර බීජ පැළවන තෙක් හොඳින් ජලය දැමිය යුතුය. තෝර පරිප්පු බීජ සොයා ගැනීමට නොහැකි නම් වෙළෙඳපොළෙන් කෑම පිණිස රැගෙන එන තෝර පරිප්පුවල පියලි නොවූ නොකැඩුණු බීජ කීපයක් තෝරාගෙන භාජනයකට දමා පැයක් පමණ පෙඟෙන්නට හැර ජලය ඉවත් කර දින තුනක් පමණ තබා මුල් අද්දවා සිටුවිය හැකිය.

 


හිරු එළිය අත්‍යවශ්‍යයි 
පැළ කීපයක් සිටුවීමට බලාපොරොත්තු වන්නේ නම් තෝර පරිප්පු ගස් අඩි 8 - 10 ක් පමණ උසට සහ හොඳින් අතු බෙදී වර්ධනය වන නිසා පැළ අතර පරතරය අඩි පහකට වඩා තබා ගැනීම වැදගත්ය. හිරුඑළිය හොඳින් අවශ්‍ය ශාකයක් වන තෝර පරිප්පු  සෙවණ සහිත ස්ථානවල  සිටුවා නොගැනීමටත් වග බලාගන්න.

 


පියලි කරන්න පෙර තද අව්වේ වේළන්න
කරලෙන් වෙන්කරගන්නා තෝර පරිප්පු ඇට තද අවුවේ වේළාගෙන  පැය 5- 6 ක් කාලයක් වතුරේ පෙඟෙන්නට තබා දිනක් හෝ දෙකක් නැවත තද අව්වේ වේළා පියලි කරගන්න. මෙම ක්‍රමය අසාර්ථක යැයි ඔබට හැඟෙන්නේ නම් කරල්වල බීජ සම්පූර්ණ වූ පසු අමුවෙන්ම කරල් කඩා කරලෙන් බීජ වෙන් කරගෙන ග්‍රීන්පීස් පිසින ආකාරයට වෑංජනයක් මෙන් සකසා ගත හැකිය. හොඳින් වේළුණු පසුවත් පියලි කිරීමට අමාරු තෝර පරිප්පු පෙඟෙන්නට දමා බ්ලෙන්ඩරයක් මගින් අවශ්‍ය ප්‍රමාණයට කුඩුකර වඩේ සාදාගත හැකිය. 

සුජිත් ප්‍රසංග


 

International Mother’s Day Read Previous

International Mother’s Day

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Next

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

Realted Post

Leave a comment