හිතේ සතුට රැඳෙන්න සොබාදහම විඳින්න

 

අප අවට ස්වාභාවික පරිසරය කෙතරම් දුරට අවධානයට ගන්නවාද? ඒ ගැන හිතනවාද, අගය කරනවාද? ඒ අපගේ අවධානය, සිතීම හා අගය කිරීම මත ස්වභාවධර්මය හා අප අතර බැඳීම කොතරම් ද යන්න සිතාගත හැකියි. ඒ බැඳීම ශක්තිමත් වන තරමට අපට ඉන් ලැබෙන කායික හා මානසික ප්‍රයෝජන බොහෝය. 


අපි අපි ගැනම මඳක් සිතා බලමු. උදෑසන සිට සවස් වනතුරු කාලයෙන් වැඩි කොටසක් අප ගත කරන්නේ විද්‍යුත් උපාංග සමග හෝ යම් ගොඩනැගිල්ලක් තුළය. සමහර විට ඔබ මහල් නිවාසයක (සුඛෝපභා්ගී හෝ සුඛෝපභෝගී නොවන) ජීවත්වෙන අයෙකු නම් ස්වාභාවික පරිසරය හා ගැටීමට තිබෙන ඉඩ ඉතාම අවමය. 


එළිමහනේ යම් කාලයක් ගත කිරීමෙන් සිතට සතුටක් ලැබෙයි. පර්යේෂණවලට අනුව වනාන්තර, කඳු, උද්‍යාන වැනි කොළ පැහැති පරිසර මෙන්ම ගංගා, වැව්, විල්, මුහුදු වැනි නිල්පාට පරිසරයද මිනිසෙකුගේ මානසික යහපැවැත්ම වැඩි කිරීමට ඉවහල් වන බව ඔප්පු වී ඇත.


ආතතිය අඩු කරයි  සතුට වැඩි කරයි
ස්වභාව ධර්මය හා බැඳී සිටීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන බොහෝය. අපගේ සතුට වැඩි කිරීමට, ආතතිය අඩු කිරීමට, මානසික විඩාව නැති කර ගැනීමට ස්වභාව ධර්මය හා බැඳී සිටීමෙන් හැකියාව ලැබේ. ඒවාගේම ආතති හෝමෝන ශ්‍රාවයවීමද අඩු කරයි. එසේ  වූ විට මනසට සැහැල්ලු බවක් සන්සුන්බවක් දැනේ. ස්වභාව ධර්මය මගින් ඇති කරන ධනාත්මක හැඟීම් මගින් මනස ප්‍රබෝධවත් කරන අතර ජීවිතය පිළිබඳ වටිනාකමක්ද ලබා දෙයි.


යහපත් සබඳතා ඇති කරයි
ස්වභාව ධර්මය හා බැඳුණු අය, අන් අය සමගම එවැනිම යහපත් බැඳිම් ඇති කර ගනිති. එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කිරීමට ස්වභාවධර්මයේ ඇති මේ අපූරු හැකියාව පර්යේෂණවලින් පවා තහවුරු කර ඇත. 


මතකය අවධානය රඳවයි
අපගේ මතකය - අවධානය රඳවා තබා ගැනීම වැඩි කිරීමටද ස්වභාවධර්මය හා බැඳී සිටීම ඉවහල් වේ. මෙයින් පෙනෙන්නේ අපේ මනසද ස්වභාවධර්මය සමග ගත කිරීමට කැමැත්තක් දක්වන බවයි. ඒ ස්වභාව ධර්මයේ ඇති සිත සුවපත් කරවන, සිත ප්‍රබෝධමත් කරන ගුණාංග ඇති නිසාය. මෙහිදී එළිමහනේ ඇති ස්වාභාවික දේ දැකීම පමණක් නොව, ස්වාභාවික හඬ (කුරුල්ලන්ගේ හඬ, රැලි බිඳෙන හඬ වැනි) ද අපේ මනසට සුවදායකබවක් ලබා දෙයි.


ආත්මාභිමානය වැඩි කරවයි
ස්වභාවධර්මය  හා බැඳී සිටින විට ‘සතුට හෝමෝන’ වැඩිපුර ශ්‍රාවය වන බව අපි දනිමු. මේ නිසා අපේ මනස ප්‍රබෝධමත් කර අපට අප ගැන යහපත් හැඟීමක් ඇති කරයි. අද අපි මුහුණ දී තිබෙන සමාජ - ආර්ථික අභියෝග හමුවේ අප සියලුදෙනාටම සිතූ පමණින් මෙවැනි ස්වාභාවික පරිසරය විඳ ගැනීමේ හැකියාවක් නැත.


එහෙත් ඒ පිළිබඳව අප කනගාටු විය යුතු නැත. ඒ මන්ද අපට අප නිවස තුළ, ගෙවත්තේ, රාජකාරී ස්ථානය තුළ හෝ අවට මෙවැනි පරිසරයක් නිර්මාණය කර ගත හැකි නිසාය. එනම්, 
01. ඔබ වෙසෙන පරසරය තුළ ස්වාභාවික පැළ තබාගන්න. නිවෙස හෝ රාජකාරී ස්ථානය අවට පරිසරයේ ගස් සිටුවා ගන්න.
02. කාමර ඇතුළත ස්වාභාවික පරිසරවල දර්ශන සහිත රූප තබාගන්න.
03. සිත සුවපත් කරවන ස්වාභාවික නාද ඇතුළත් හඬ පට, විඩියෝ වැනි දේ විවේක අවස්ථාවල භාවිතා කරන්න.


මොහොතක් සිතින් තමන් වෙසෙන පරිසරය රස විඳින්න. මෙහිදී ඔබේ සිත සුළු මොහොතකට හෝ අවට පරිසරයේ ස්වාභාවික ශබ්ද වෙත යොමු කළ හැකියි. එසේම රාත්‍රී අහස දෙස මොහොතක් බලා සිටීම වැනි සරල ක්‍රියා තුළින් වුවද මනසට සුවයක් දැනේ.


ඔබගේ නිර්මාණාත්මක හැකියාවන්ද ස්වභාවධර්මයට සමීප කළ හැකියි. මෙහිදී ස්වාභාවික දර්ශන චිත්‍රයට නැගීම, ස්වභාව ධර්මය ගැන රචනා, කවි, නිසඳැස් ලිවීම, ස්වභාවධර්මය හා බැඳුණු ගීත ගායනය වැනි දේ අපට පහසුවෙන් කළ හැකි දේවල් වේ.


මෙහිදී සඳහන් කළ ආකාරයට මානසික ආතතිය අඩු කිරීමේ සිට මානසික රෝගාබාධ ඇතිවීම වැළැක්වීම මෙන්ම සමහර මානසික රෝගාබාධ සුවවීමට උදව් කිරීමේ හැකියාවක්ද ස්වභාවධර්මයට ඇත. ඒ නිසා ඉඩ ලැබෙන සෑමවිටම ස්වභාවධර්මය සමග සෘජුවම හෝ වක්‍රාකාරයෙන් බැඳීම මෙන්ම ඒ සඳහා ඔබේ කාර්යබහුල ජීවන රටාවෙන් සුළු මොහොතක් හෝ වෙන් කර ගැනීමට සිතට ගන්න.

 


සුබෝධිනී පෙරේරා


 

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Previous

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Next

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

Realted Post

Leave a comment