අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය
සුන්දර නුවරඑළිය සංචාරය කරන්න යන්න කවුද අකමැති? දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය පිළිබඳවයි මෙවර **සිරිකත ට්‍රැවල්** විශේෂාංගයෙන් ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ.
ගමන් මඟ
සුන්දර නුවරඑළිය නගරය මධ්‍යයේම පිහිටා ඇති බැවින් සංචාරක ඔබට කිසිදු අපහසුතාවකින් තොරව වික්ටෝරියා උද්‍යානය වෙත ළඟා වීමේ හැකියාව පවතිනවා.
වික්ටෝරියා උද්‍යානයේ සුන්දරත්වය
වික්ටෝරියා උද්‍යානයේ සුන්දරත්වය ගැන කතා කිරීමේදී, නුවරඑළියට ආවේණික සීතල දේශගුණික පරිසරයට මනාව හැඩගැසුණු සුවඳවත් හා සිත්ගන්නාසුලු මල් වර්ග මෙන්ම විශාල තුරුලතාවලින් පිරුණු අක්කර 27ක් පුරා විහිදී ඇති සුන්දර හා දැකුම්කලු උද්‍යානයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි.
මල් හා තුරුලතා පමණක් නොවෙයි – සංචාරක පක්ෂීන් නැරඹීමේ අවස්ථාවත්
මෙම උද්‍යානය මල් හා තුරුලතාවලින් පමණක් සුන්දර වූ ස්ථානයක් නොවෙයි. විවිධ වර්ගයේ කුරුල්ලන්, විශේෂයෙන් සංචාරක පක්ෂීන් නැරඹීමටද මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා.
විශේෂයෙන් අප්‍රේල් සහ ඔක්තෝබර් යන කාල වකවානුවලදී කඳුකර ප්‍රදේශ සොයා පැමිණෙන සංචාරක පක්ෂීන් රැසක් මෙහිදී දැකගැනීමට හැකියාව තිබෙනවා.
වැඩිහිටියන්ට විතරක් නොවෙයි – පුංචි දඟයන්ටත් ඉඩක්
වැඩිහිටියන්ට පමණක් නොව, පුංචි සිඟිත්තන්ටත් විනෝද වීමට වික්ටෝරියා උද්‍යානයේ විශේෂ ස්ථානයක් වෙන් කර තිබෙනවා.
දරුවන්ට නිදහසේ සෙල්ලම් කරමින් විනෝද වීමට හැකි පරිසරයක් මෙහි නිර්මාණය කර තිබීම නිසා පවුලේ සැමට එකට ගත කළ හැකි සුන්දර ස්ථානයක් ලෙසත් මෙය හැඳින්විය හැකියි.
උද්‍යානයේ වසන්ත සමය
හැමෝම දන්නා කාරණයක් තමයි නුවරඑළියේ වසන්ත සමය ලෙස අප්‍රේල් මාසය සැලකෙන බව. එම කාලයේදී දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි අවධානයක් නුවරඑළිය වෙත යොමුවෙනවා.
එම සංචාරක ආකර්ෂණයත් සමඟ වික්ටෝරියා උද්‍යානයටද විශාල වැදගත්කමක් හිමි වෙනවා. වසන්ත සමයේදී විවිධ වර්ගයේ අලංකාර මල් දැකගැනීමටත්, මල් ප්‍රදර්ශන නැරඹීමටත් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.
උද්‍යානයට ‘වික්ටෝරියා’ නම ලැබුණු අපූරුව
1897 වසරේදී වික්ටෝරියා රැජිනගේ 60 වැනි රාජාභිෂේක සංවත්සරය සිහිපත් කිරීම වෙනුවෙන් මෙම උද්‍යානය **වික්ටෝරියා උද්‍යානය** ලෙස නම් කර තිබෙනවා.
උද්‍යානයේ රාජකීය ඉතිහාස කතන්දර
වික්ටෝරියා උද්‍යානයට දිගු හා සුවිශේෂී ඉතිහාසයක් හිමි වෙනවා.
19 වැනි සියවසේදී ජර්මන් කුමාරයෙකු විසින් මෙම උද්‍යානයේ ඕක් ශාකයක් රෝපණය කර තිබෙන අතර, එය උද්‍යානයේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත් සාධකයක් ලෙස සැලකෙනවා.
එමෙන්ම 1896 සිට 1903 දක්වා කාලය තුළ මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ ජෝසප් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ දියණිය විසින්ද 1897 වසරේදී තවත් ඕක් පැළයක් වික්ටෝරියා උද්‍යානයේ රෝපණය කර තිබෙනවා.
සාමය ප්‍රාර්ථනා කළ ‘සාම ගස’
1919 ජූනි 19 වැනි දින ලංකාවේ විසූ වෙඩමන් ආර්යාව විසින් වික්ටෝරියා උද්‍යානයේ සයිප්‍රස් ගසක් රෝපණය කරමින් ලොවටම සාමය ප්‍රාර්ථනා කර තිබෙනවා.
එම ගස උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයෙන් ඇතුළු වී මීටර් 750ක් පමණ ගිය විට, රෝස උද්‍යානයේ වම්පසින් දැකගත හැකියි. අඩි 30ක් පමණ උසින් යුතු මෙම ගස අද වන විට උද්‍යානයේ **‘සාම ගස’** ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
රාජකීය අමුත්තන්ගේ මතක සටහන්
මෙම උද්‍යානයේ දක්නට ලැබෙන බොහෝ හොඳින් වර්ධනය වූ විශාල ගස්, නුවරඑළියට පැමිණි රාජකීය අමුත්තන් විසින් ඔවුන්ගේ නිල සංචාරයන් සිහිපත් කිරීම සඳහා රෝපණය කරන ලද ඒවා වීමත් මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක්.
ඒ නිසාම වික්ටෝරියා උද්‍යානය කියන්නේ මල්, ගස්වැල් සහ සොඳුරු පරිසරයකින් පමණක් නොව, ඉතිහාසය හා රාජකීය මතක සටහන් රැසකින්ද පොහොසත් ස්ථානයක්.
මෙවැනි රාජකීය ඉතිහාසයකට උරුමකම් කියන වික්ටෝරියා උද්භිද උද්‍යානය නැරඹීමට යන ඔබ, එහි සුන්දරත්වය විඳින අතරම එම සුන්දර පරිසරය අනාගත සංචාරකයන්ටත් දැකගැනීමට හැකි වන පරිදි ආරක්ෂා කර දීමේ වගකීමද සිහි තබාගත යුතුයි.
සුන්දරත්වය විඳින්න... ඉතිහාසය දකින්න... පරිසරය රැකගන්න!
සටහන – මහේෂානි මීගහපොල
විශේෂ ස්තුතිය හා ඡායාරූප – පරිසරවේදී ඉශාන්ද සෙනෙවිරත්න

Leave a comment