ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන අපි හැමෝම හොඳින් දන්නා ගාථාවක් තමා ධම්මපදයේ එන ‘මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා’ කියන ගාථා පාඨය. මෙයින් අදහස් කරන්නේ ඔබේ මානසිකත්වය එනම් මනෝභාවය ඔබේ සමස්ත යහපැවැත්මේ සෑම අංශයකටම බලපාන බවයි. සරලවම පැවසුවහොත් මනස සියල්ලටම මුල්වන බවයි.

මානසිකත්වය ගැන කතා කරද්දී මනෝවිද්‍යාඥයන් විසින් එය විවිධාකාරයෙන් කොටස් වලට බෙදා වෙන් කරනවා. ඒ අතර බහුලත්වය පිළිබඳ මානසිකත්වය (Abundance Mindset) හා හිඟ මානසිකත්වය (Scarcity Mindset) මෙන්ම වර්ධන මානසිකත්වය (Growth Mindset) හා ස්ථාවර මානසිකත්වය (Fixed Mindset)  නිතර සාකච්ඡාවට බඳුන් වනවා. එම මානසිකත්ව වර්ග අතුරින් අද අපි සාකච්ඡා කරන්නේ බහුලත්වය පිළිබඳ මානසිකත්වයයි.

ඉතින් අපි මුලින්ම බලමු අපිට මෙතරම් වැදගත් වන මෙම බහුලත්වය පිළිබඳ මානසිකත්වය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු අපගේ මෙම මානසිකත්වය ක්‍රියා කරන ආකාරය පිළිබඳව.

මුලින්ම ඔබගේ මානසිකත්වය ඔබගේ හැඟීම්වලට බලපානවා. අනතුරුව එම හැඟීම් ඔබගේ සියලුම ක්‍රියාවන්ට බලපානවා. අවසානයේ එම ක්‍රියාවන් ඔබගේ ජීවිතයේ සියලුම ප්‍රතිඵලවලට බලපානවා. එබැවින් ඔබ ජීවත්වීමට තෝරාගන්නා මානසිකත්වය මත ඔබගේ මුළු ජීවිතයම තීරණය වෙනවා.

මෙම බහුලත්වය පිළිබඳ මානසිකත්වයේ ප්‍රතිවිරුද්ධ මානසිකත්‍වය වන්නේ හිඟ මානසිකත්‍වයයි. හිඟ මානසිකත්වයෙන් නිතරම ඔබට ඒත්තු ගන්වනු ලබන්නේ, ඔබේ තේරීම් සීමිත බවත්, ඔබේ ජීවිතය කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවන බව සහ ඔබට ඇත්තේ ඉතා සුළු සම්පත් ප්‍රමාණයක් බවත්ය. නමුත් බහුලත්වය පිළිබඳ මානසිකත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

එම මානසිකත්වය නිතරම අපට ඒත්තු ගන්වන්නේ ලෝකයේ ඇති බහුලත්වය පිළිබඳවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ හිඟ මානසිකත්වය සහිත පුද්ගලයන්ට වඩා මෙම බහුලත්වය පිළිබඳ මානසිකත්වය සහිත පුද්ගලයන් සතු විශේෂ ගුණාංග කිහිපයක් පැවතීමයි.

ඉතින් අද අපි මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට යන්නේ මෙලෙස නිතරම බහුලත්වය පිළිබඳ මානසිකත්වයක් අනුගමනය කරන පුද්ගලයන් සතු ගුණාංග 5 ක් පිළිබඳවයි.

01   අන් අයගේ සාර්ථකත්වය සැමරීම

බහුලත්වය පිළිබඳ මානසිකත්වයක් සහිත පුද්ගලයන් සතු ඉතා වැදගත්ම ගුණාංගය වන්නේ මෙයයි. මොවුන් ඊර්ෂ්‍යාවට හෝ ක්‍රෝධයට වහල් නොවන අතර, අන් අයගේ සාර්ථකත්වය සැමරීමෙන් සාර්ථකත්වය හීන නොවන බව විශ්වාස කරයි.

ඔවුන් ඒ වෙනුවට ඊර්ෂ්‍යාවට හා ක්‍රෝධයට වැය වන කාලය අලුත් දේවල් ඉගෙන ගැනීමට, දියුණුවීමට මෙන්ම නව සබඳතා ගොඩනගා ගැනීමට යොදාගන්නවා. එපමණකින් නොනවතින ඔවුන් සාර්ථක පුද්ගලයන් අගය කිරීමටද, කටයුතු කරනවා. 

02 සෑම කෙනෙකුටම ප්‍රමාණවත් තරම් සම්පත් ඇති බව වටහා ගැනීම

හිඟකම පිළිබඳ මානසිකත්වයකින් ජීවත් වන අය තමන්ගේ ජයග්‍රහණය සඳහා වෙනත් අයෙකු පරාජය විය යුතු බව විශ්වාස කරන නමුදු, බහුලත්වය පිළිබඳ මානසිකත්වය සහිත අය සියලු පාර්ශවයන්ට ජයග්‍රහණ හිමිවන තත්ත්ව මොනවාදැයි සොයා බලයි.

ඉන් අදහස් වන්නේ යම් සම්පතක් හෝ අවස්ථාවක් ලබාගැනීමට කැමැත්තෙන් හා උත්සාහයෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඒවා ප්‍රමාණවත් පරිදි මේ ලෝකයේ පවතින බව ඔවුන් විසින් විශ්වාස කිරීමයි. එනම් වෙනත් අයෙකු සාර්ථක වීම නිසා ඔබේ සාර්ථක වීමේ හැකියාවට කිසිදු බාධාවක් හෝ අඩුවක් සිදුනොවන බව මින් වැඩිදුරටත් පැහැදිලි වෙනවා.

03 අමනාපයෙන් සිටීම වෙනුවට සතුටින් සිටීමට පුරුදු වීම

ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා මොන දේ සිදුවුණත් සතුටින් ජීවත්වන. ඒත් තවත් පිරිසක් සිටිනවා නිතරම කනස්සල්ලෙන් ජීවත්වන. ඔවුන් කුඩා දෙයටත් අමනාපයට පත්වෙනවා. ඒ වගේම නිතරම ජීවත් වෙන්නෙ බයෙන්. මෙසේ නිතරම කනස්සල්ලෙන්, අමනාපයෙන් මෙන්ම බයෙන් ජීවත් වෙන්නේ හිඟකම පිළිබඳ මානසිකත්වයක් සහිත අයයි.

නමුත් නිතරම බහුලත්වය පිළිබඳ මානසිකත්වයෙන් ජීවත්වන පුද්ගලයා අමනාපයෙන් සිටීම වෙනුවට නිතරම සතුටින් සිටීමට පුරුදු වෙනවා. මෙහිදී වරදවා වටහා නොගත යුතු කාරණයක් වන්නේ ඔවුන් අවාසනාවන්ත යථාර්ථයන් ප්‍රතික්‍ෂේප කිරීමක් සිදුනොවන අතර, ඒ වෙනුවට ඕනෑම තත්ත්වයක් තුළ තමන්ට ශක්තියක් හා ධෛර්යයක් ලැබෙන ආකාරයට ඔවුන්ගේ අවධානය යොමු කිරීමයි.

ඉන් වැඩිදුරටත් අදහස් වන්නේ අතීතය හෝ අනාගතය පිළිබඳව කනස්සල්ලට පත්වීම වෙනුවට, වර්තමානය තුළ තෘප්තිය සොයා ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කළයුතු බවයි.

04 වෙනස වැළඳ ගැනීම

ලෝකයේ ජීවත්වන බොහෝදෙනා වෙනස් වීමට කැමති නෑ. එනම් ඔවුන් නිතරම කැමති ආරක්‍ෂිත කලාපයේ (Comfort Zone) ජීවත් වෙන්න. ඔවුන් කවදාවත් අවදානම් කලාපයට (Risk Zone)  ගිහින් අලුත් විදියට හිතලා, අලුත් දෙයක් කරලා සාර්ථකත්වයට පත්වෙන්න කැමති නෑ.

විශේෂයෙන්ම හිඟකම හා අගහිඟකම් මධ්‍යයේ ජීවත්වන අයට වෙනසක් සිදුවීම බියජනක හා අවිනිශ්චිත කාලපරිච්ජේදයක් විය හැකියි. එහෙත්, බහුලත්වය පිළිබඳ මානසිකත්වයෙන් කටයුතු කරන්නන්ට නම් වෙනස යනු නව අවස්ථා සහ වර්ධනය සඳහා නව හැකියාවන් උදාකර ගැනීමකි. එසේම එය තමන්ව ඉහළ මට්ටමකට ඔසවා තැබීමටත් නව කුසලතා වර්ධනය කර ගැනීමටත් ලැබෙන තවත් එක් අවස්ථාවකි.  

05 තමන්ගේ ජීවිතය පිළිබඳ පාලනය තමන් සතුව ඇති බව වටහා ගැනීම

හිඟකම හෝ අඩුව පිළිබඳ මානසිකත්වයකින් ජීවත්වන අය විශ්වාස කරන්නේ තම ඉරණම තමන්ට පාලනය කළ නොහැකි බාහිර සාධක මත රඳා පවතින බවයි. නමුත්, බහුලත්වය පිළිබඳ මානසිකත්වයක් ඇති අය එසේ නොවේ.

ඔවුන් තම ජීවිතය අහඹු සිදුවීම් හෝ වාසනාව මත පමණක් රඳා පවතින්නට ඉඩ නොදෙන අතර, නව ක්‍රියාමාර්ග සහ නොපසුබට උත්සාහය හා කැපවීම තුළින් ඕනෑම මොහොතක තම ජීවිතය වෙනස් කරගත හැකි බව වටහා ගනී. එවැනි පුද්ගලයන්ට සීමාවන් නොමැති අතර, ඔවුන්ට විවෘත වී ඇති අවස්ථා අනන්තය. එමෙන්ම ඔවුන්ට ඒ සියල්ල සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ හුදෙක් නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පමණි.

හිඟකම පිළිබඳ මානසිකත්වයට හුරු වී සිටින අයට බහුලත්වය පිළිබඳව සිතීම බොහෝවිට අමුතු, යථාර්ථවාදී නොවන සහ අපහසුතාවයක් ගෙන දෙන දෙයක් ලෙස හැඟී යා හැකි මුත්, බහුලත්වය පිළිබඳ මානසිකත්වය යනු කාලයත් සමග ඕනෑම කෙනෙකුට වර්ධනය කරගත හැකි දෛනික පුරුද්දකි.

ඔබටත් බහුලත්වය පිළිබඳ මානසිකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්, ඉහත සඳහන් ගුණාංග පුරුදු පුහුණු කිරීමට කටයුතු කරන්න. ඔබට ජය නියතයි.

  • ප්‍රවීණ පුද්ගල හැකියා සංවර්ධන ලේඛක හා දේශක ටෙරන්ස් වීරවර්ධනක

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

First Energy සමාගමට සම්මාන දෙකක් Read Next

First Energy සමාගමට සම්මාන දෙකක්

Realted Post

Leave a comment