දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ලෝක ළමා දින පණිවිඩය
 
"දරුවන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම්, අධ්‍යාපනය, පෝෂණය සහ ගෞරවය පිළිබඳ අපගේ දැක්ම දේශසීමා ඉක්මවා යන විශ්වීය දැක්මක් 
  දරුවන් ගේ සිහින වලට දේශසීමා නැත. ඔවුන්ගේ සිනහවට ජාතියක් නැත. ඔවුන්ගේ කඳුළට භාෂාවක් නැත.. එක් රටක දරුවෙකු මුහුණ දෙන අභියෝගය හෙට තවත් රටක දරුවෙකුටද බලපෑ හැකිය  එබැවින් දරුවන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම්, අධ්‍යාපනය, පෝෂණය සහ ගෞරවය පිළිබඳ අපගේ දැක්ම දේශසීමා ඉක්මවා යන විශ්වීය දැක්මක් විය යුතුය.
 
බලයට පත් වී දෙවසරක් ගත වී ඇති මොහොතක අපි මේ සමරමින් සිටින්නේ අපේ රජය යටතේ වන දෙවන ලෝක ළමා දිනයයි. ආපසු හැරී බලන විට ආර්ථික අවපාත ස්වභාවික ව්‍යසන දේශපාලන හැළහැප්පීම් බොහොමයක් මැද අපි දරුවන් වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කර ඇති බව දැනෙන විට හිතට දැනෙන සතුට නිරාමිස ය. ඇතැම් මාතෘකා සමාජ හා මානුෂීය වටිනාකම් මිස ප්‍රවෘත්ති මය වටිනාකමක් නැති නිසා ඒවා සැණෙන් ඔබ වෙත නොලැබෙන්නට ඇත.
 
නමුත් අමාත්‍යාංශයක් ලෙස අප අපේ වගකීම හදවතට එකගව ඉටු කරමින් සිටිමු. දරුවෙකු ගේ අයිතිවාසිකමක් වෙනුවෙන් අප කරන සෑම පියවරක්ම, මනුෂ්‍යත්වයේ අනාගතය වෙනුවෙන් තබන පියවරකි. 
 
දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතන ඒකාබද්ධ කරමින් ශක්තිමත් ළමා ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම අපගේ ප්‍රමුඛ අරමුණ ලෙස සිතා අප සියළුම තීරණයන් ප්‍රතිපත්ති හා නීති බවට පත් කරමින් සිටිමු.
 
ඒ සමඟම, සෑම දරුවෙකුටම ජීවිතයේ මුල් අවධියේ සිටම ගුණාත්මක අධ්‍යාපනයක් හා නිසි පෝෂණයක් ලබාදීම අනාගතයට කරන වැදගත්ම ආයෝජනයකි. මේ අරමුණින් පෙර පාසල් සඳහා ජාතික මුල් ළමාවිය සංවර්ධන විෂයමාලා රාමුවක් හඳුන්වාදීම මෙන්ම දරුවන්ගේ උදෑසන ආහාරය සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීම වැනි පියවර තීරණාත්මක ය
 
අද ශ්‍රී ලංකාව තුළ අපි දරුවන්ට එරෙහි අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා ආයතන එකට සම්බන්ධ කරමින් ශක්තිමත් ළමා ආරක්ෂණ ක්‍රමවේදයක් ගොඩනඟමින් සිටිමු. ළමා අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටිමු. නමුත් මේ සියල්ලේ අවසාන අරමුණ නීති හෝ වැඩසටහන් ගණන වැඩි කිරීම නොවේ.
 
දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් “මගේ සිහිනයට වටිනාකමක් තිබෙනවා” කියා දැනෙන සමාජයක්,“මම කවුරුන් වුවත් මට අවස්ථාවක් තිබෙනවා” කියා විශ්වාස කළ හැකි ලෝකයක් නිර්මාණය කිරීමයි.
 
බියෙන් තොර ළමා කාලයක .සිහිනයක් දකින්නට ඇති නිදහසක..වැටුණු විට නැගිටීමට අත දෙන සමාජයක දරුවන්. තමාගේ අනාගතය තමාම නිර්මාණය කරගැනීමට සූදානම් ව සිටිනු ලබයි. අපි අද දරුවන්ගේ අනාගතය ලියනවා යැයි සිතුවත්, සැබැවින්ම අපි ලියමින් සිටින්නේ හෙට ලෝකයේ කතාවයි. “එබැවින් අප තනන්නට අපේක්ෂා කළ ලෝකය නිර්මාණය කරගන්නට නොහැකිවූවා යැයි පසුතෑවිමෙන් නික්ම යාමට අපේක්ෂාවක් අප තුළ නැත. ලෝකයේ සෑම දරුවෙකුටම ආදරයෙන්, ආරක්ෂාවෙන්, ගෞරවයෙන් සහ බලාපොරොත්තුවෙන් පිරි සුබ අනාගතයක් නිර්මාණය කිරීමට වැඩිහිටියන් ප්‍රමුඛ සමස්ත සමාජයම වෙනස් කිරීම අපේ එකම දැක්ම බව ප්‍රකාශ කරමින් ළමා දින සුබපැතුම එක් කරමි. 

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක් Read Previous

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment