කාන්තාවන්, තරුණයින් සහ ආබාධ සහිත පුද්ගලයින් වැඩි වශයෙන් බලගන්වන්න

ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග ඉස්මතු කරමින් මිලිටරි වියදම් සහ සන්නද්ධ ගැටුම්වලට වඩා සැවොම ඇතුළත් කර ගන්නා සංවර්ධනය, බෙදාගත් සමෘද්ධිය සහ මානව හිමිකම් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

InterPares විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ කාන්තා දේශපාලන නියෝජනය, ආර්ථික බලගැන්වීම, තරුණ සහභාගීත්වය සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

ශ්‍රම බලකායේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ කාන්තා සහභාගීත්වය වැඩි කළ යුතුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 51–52% ක් කාන්තාවන් සිටින නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉන් 9.8% ක් පමණක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා දේශපාලන තීරණ ගැනීමේ දී වැඩි කාන්තා සහභාගීත්වයක් අවශ්‍ය බව මෙහි දී අවධාරණය කළේය. අධ්‍යාපනය, රැකියාව, ව්‍යවසායකත්වය, දැරිය හැකි මූල්‍ය සහ ළමා රැකවරණය සඳහා වැඩි දියුණු කළ ප්‍රවේශයක් ඉල්ලා සිටිමින්, ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 33–34% ක් පමණක් පවතින බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

කාන්තාවන්, දරුවන්, තරුණයන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍යයි

ආබාධිත පුද්ගලයින් ඇතුළත් කිරීම සුභසාධනයෙන් ඔබ්බට ගොස් ගෞරවය, සමාන අයිතිවාසිකම්, ප්‍රවේශ්‍යතාව සහ අවස්ථා කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් කාන්තාවන්, දරුවන්, තරුණයින් සහ ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු යාන්ත්‍රණ සඳහා ඔහු ඉල්ලා සිටියේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්න

ගෝලීය වියදම් ප්‍රමුඛතා ප්‍රශ්න කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් යුරෝපීය සංගමයෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය, විරැකියාව, මන්දපෝෂණය සහ ජීවනෝපායන් අහිමි වීම වැනි ගැටළු විසඳීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොමු කරන ලෙස යි.

ශ්‍රී ලංකාවේ කලාපීය ආර්ථික විෂමතා රැසක් පවතිනවා

පාස්කු ඉරිදා ප්‍රහාර, COVID-19 වසංගතය, ආර්ථික බංකොලොත්භාවය, දිට්වා සුළි කුණාටුව සහ දැනට පවතින මැද පෙරදිග ගැටුම් ඇතුළු පසුගිය වසර හත තුළ ශ්‍රී ලංකාවේ බහු අර්බුදවල අත්දැකීම් ගැන සඳහන් කරමින්, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් අනුප්‍රාප්තික ගෝලීය කම්පනවලට ගොදුරු වීමේ අවදානම ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉස්මතු කළේය. ශ්‍රී ලංකාවේ කලාපීය ආර්ථික විෂමතා ද පෙන්වා දෙමින් 2024 දී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 42% ක් බටහිර පළාත විසින් දරන ලද අතර ඉතිරි පළාත් අට ඉතිරි කොටස බෙදා ගත් බව ද විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.
‍
සැවොම ඇතුළත් කර ගත් සංවර්ධනයක් කරා යා යුතුයි

 “ගැටුමට වඩා සහයෝගීතාවයට අපි ප්‍රමුඛත්වය දිය යුතු යි. යුද්ධයට වඩා සාමයට අපි ප්‍රමුඛත්වය දිය යුතු යි,” යනුවෙන් මහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ හමුදා වියදම් අඩු කිරීම සහ සියල්ල ඇතුළත් වර්ධනය සහ මානව සංවර්ධනය සඳහා වැඩි ආයෝජනයක් ඉල්ලා සිටිමිනි.

අවදානමට ලක්ව ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කළ යුතුයි

යහ පාලනයට විනිවිදභාවය, වගවීම, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඵලදායී අධීක්ෂණය අවශ්‍ය බව අවධාරණය කරමින් යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කැපවීම් අර්ථවත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරන ලෙස ද මෙහි දී ඉල්ලා සිටියේය. සිය දේශනය අවසන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන්, දරුවන්, තරුණයින්, ආබාධ සහිත පුද්ගලයින් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා සම්පත් බලමුලු ගැන්වීමට සාමූහික උත්සාහයන් ඉල්ලා සිටියේය.

Control Union Sri Lanka රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතිකරණය හිමිකර ගනී Read Previous

Control Union Sri Lanka රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතිකරණය හිමිකර ගනී

සිඟිති බාලදක්ෂයන් Read Next

සිඟිති බාලදක්ෂයන්

Realted Post

Leave a comment