ගුඩෝල් චිම්පන්සීන්ගේ මව ගුඩෝල්

කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් සිය 91 වැනි වියේදී අභාවප්‍රාප්ත වූයේ බොහෝ දේ ලෝකයට කියා දෙමින්.

​ජේන් ගුඩෝල් මහත්මිය වසර 60කට වැඩි කාලයක් ටැන්සානියාවේ ගොම්බේ වනාන්තරයේ ජීවත් වෙමින් චිම්පන්සීන් අධ්‍යයනය කළ අතර ඇයගේ සොයාගැනීම් විද්‍යාව වෙනස් කිරීමට සමත් වෙනවා. ලොව පුරා සංචාරය කරමින් පරිසරය සහ සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කල ඇය ​ආයුධ භාවිතා කළ හැක්කේ මිනිසුන්ට පමණි යන මතය අභියෝගයට ලක් කළ පළමුවැනියායි.

කුඩා කාලයේදීම චිම්පන්සීන් කෙරෙහි ඇල්මක් තිබූ පුංචි ජේන්ගේ මේ අසීමිත ආසාව තේරුම් ගන්නා ඇගේ පියා චිම්පන්සි සෙල්ලම් භාණ්ඩයක් ද රැගෙනවිත් දී තිබුණා. සෙල්ලම් චිම්පන්සියාට "ජුබිලී" යැයි නම් තබමින් සෙල්ලම් කල මේ පුංචි ජේන්ගෙ ප්‍රියතම කෘති අතර ටාර්සන් සහ ඩොක්ටර් ඩූලිට්ල් තිබිලා. 

මව හා මිත්තණිය සමග හැදී වැඩුණු කුඩා ජේන්ගේඒ එකම හීනය වූයේ කවදා හෝ අප්‍රිකාව ගවේෂණය කරමින් පරිසරය පිළිබඳ විශේෂඥයෙකු වීම. මුදල් අපහසුතා හමුවේ විවිධ රැකියා කරමින් ලොකු වෙන ජේන්ට 1956 දී කෙන්යාවේ සිටි තම කුඩා කල මිතුරියක් කෙන්යාවට පැමිණෙන ලෙසට ආරාධනයක් ලැබෙනවා. මාස ගණනක් ඉතිරි කළ මුදල් යොදාගෙන ඇය මොම්බාසා වෙත ගුවන් ටිකට් පතක් මිල දී ගෙන යන්නේ වයස අවුරුදු 26දී. 

ටැන්සානියාහි ගවේෂණය ආරම්භ වන්නේ මෙලෙසින්. විෂය සම්බන්දයෙන් කිසිදු උපාධියක් නොතිබුණු ඇයට තිබුණේ පරිසරය සතා සිවුපාවන් කෙරෙහි පැවති දැඩි ඇල්ම පමණි. සත්ත්ව චර්යාව පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටි මේ තරුණ බ්‍රිතාන්‍ය ජාතික කත, චිම්පන්සින්ව දුරස්ව තබා අධ්‍යයනය කරනවා වෙනුවට, මාස ගණනක් තිස්සේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් චිම්පන්සි ගහනය සමඟ සමීප වුණා. ජේන් සහ චිම්පන්සීන් සමඟ පවතී ආදරණිය බව කොයි කාලයේදී වුවත් අපට දැකගත හැකි බවට තහවුරු කරන්නට ඕනෑ තරම් වීඩියෝ පට අන්තර්ජාලයට ඇතුළත්.

ජේන්ගේ සොයාගැනීම් හමුවේ මිනිසාගේ චිම්පන්සීන් කෙරෙහි තිබූ මතයන් බොහෝ දුරට වෙනස් වෙද්දී ඇය ‘In the Shadow of Man’ නමින් එළිදැක්වූ කෘතිය විවේචනයට ලක් වීමත් ඇය පිළිබදව සදහන් කිරීමේදී සටහන් කරන්නේ, එය කෙතරම් විවේචනයට ලක් වුවත් වර්තමානය වන විට ඇයගෙන් සිදු වූ සේවය සියල්ලෝම අගයන නිසාවෙනි. පැමිණි විවේචන බාධක මැඩගෙන ඉදිරියට ඇයගේ ජිවිතයේ මූලිකම ආදර්ශය වන්නේ ගහට කොළට සතා සිව්පාවුන්ට ආදරය කරන්න යන්නයි.

මැයගේ පුද්ගලික විස්තර ගැන සදහන් කරුණු අතර වන්නේ, 1964 දී ඇය ඡායරූප ශිල්පියෙකු වූ හියුගෝ වැන් ලැවික් සමග විවාහ වී ඔවුන්ට එක් පිරිමි දරුවෙක් ලැබුණත් 1974 දී ඔවුන් දෙදෙනා දික්කසාද වූ බව. ඉන් වසරකට පසු ඇය ටැන්සානියාහි මන්ත්‍රීවරයෙක් වූ ඩෙරෙක් බ්‍රයිසිසන් සමග විවාහ වී ඇතත් ඔහු 1980 දී ඔහු පිළිකාවකින් සිය ජිවිත සැරියට සමු දී තිබෙනවා.

2004 වර්ෂයේදී ගුඩොල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව ලෙසින් ද, 2002 දී එක්සත් ජාතීන්ගේ සාම දූතිකාවක වශයෙන් ද, 2025 දී ඇමරිකානු රජය විසින් නිදහස් වෙන්වෙන් වන ජනාධිපති පදක්කම (Presidential Medal of Freedom) ද ඇය වෙත පිරිනමනු ලැබුවා.  ඇය කළ සේවයට ලැබී ඇති ගෞරව නාම මෙන්ම පිදුම් ලබා ඇති සම්මාන 50කට අධික ප්‍රමාණයක් ඇය සතු වනවා. ඇය විසින් තම ජීවිත කාලය පුරාවට කළ ගවේෂණවලින් ලත් දැනුමෙන් කෘති 30කට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. එවැනිම ඇයගේ ජීවිත කතාව අළලා චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් ද නිර්මාණය වී තිබීමත් විශේෂයි.

නිරතුරු ගහකොළ සතා සිවුපාවුන් සමග කාලය ගෙවූ ඇය සැබවින්ම ආදරණිය ජීවතයක් ගෙවන්නට ඇත. පරිසරයට මෙතරම් ආදරණිය මිනිසුන් තව ඉන්නවාද යන්න ප්‍රශ්නාර්ථයක් වුවත් ඇයගෙන් ආදර්ශ ඉදිරියට ගෙන යමින්  පරිසරයට සත්තුන්ට ආදරණිය මනුස්සයෙකු වීමේ වගකීමට අපට වගවිය හැකියි. 

  • මූලාශ්‍ර - nationalgeographic.com, britannica.com සහ අන්තර්ජාලය ඇසුරින් 
  • අශන්ති වරුණසූරිය

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත Read Previous

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත

24 Love Story Read Next

24 Love Story

Realted Post

Leave a comment