නවකවදය වැළැක්වීමේ පනත ගැන ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන නවකවදය සම්බන්ධයෙන් ගෙන ඇති නීති පිළිබඳව ලංකාදීප Online දැනුවත් විනාඩි තුන වැඩ සටහන ඇසුරෙන් සිදු කරන ලද සටහනක්
නවකවදය වැළැක්වීමේ පනත 1998 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කර තිබේ. මෙම පනත ගෙන එන විට අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කළ රිචඩ් පතිරණ මැතිතුමා නවකවදය නීතිගත කර, එය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විමසිලිමත් වූයේය.
මෙම පනතේ සඳහන් වී ඇත්තේ යම්කිසි කෙනෙක් නවකවදය ලබා දීම, ඊට උදව් කිරීම සිදු කළ හොත් නීතිමය වශයෙන් අවුරුදු දෙක දක්වා කාලයක් බරපතළ වැඩ සහිත සිර දඬුවම පැමිණවිය හැකි බවයි.
නවකවදයට ලක් වූ තැනැත්තාට ශාරීරික හානි සිදු වී තිබේ නම් ඒවාට වන්දි ගෙවීමටද වරදකරුට සිදු වේ.
නවකවදය ලිංගික අඩත්තේට්ටම් දක්වා ගොස් ඇත්නම් වරදකරුට වසර දහයක සිර දඬුවම් විඳින්නට සිදු වේ.
මෙහි වැදගත්ම කරුණ නම්, නවකවද පනත යටතේ අත්අඩංගුවට ගත හොත් ඇපගත හැක්කේ මහ අධිකරණයෙන් පමණි.
ඒ වගේම වර්ෂ 2015 දී පැමිණි වින්දිතයන් සහ සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සිදු වන්නේ නවකවදය වෙනුවෙන් සාක්ෂි සපයන පුද්ගලයන් සහ වින්දිතයන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමයි. ඒ සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.
මෙම කටයුතු මැඩපැවැත්වීම සඳහා පොලීසියේ සහයෝගයද අත්‍යවශ්‍ය වේ. එහිදී විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සිදුකළ යුතුයි. ඒ ඔස්සේ විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා මූලික ක්‍රියාමාර්ග ගත යුතුයි.
නවක වදය පැමිණවීමෙහි වරදට හසු වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හට විශ්වවිද්‍යාලය මට්ටමින් පංති තහනම් කිරීම් වැනි දඬුවම ලබා දෙයි. මෙම පනතට හසුවන ආකාරයේ වරදකට හසු වුවහොත් ඊට සැකසී ඇති නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු වේ.
සටහන: විශ්වනී හසලා
අදහස් : නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා - මණ්ඩපාධිපති කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය
ලංකාදීප Online දැනුවත් විනාඩි තුන වැඩසටහන ඇසුරෙන්
Leave a comment