නෙකා නගරයේ පියාපත් සිඳුණු සමනලිය

2004 අගෝස්තු 15 වැනිදා. ඉරානයේ නෙකා නගරයේ කාර්යබහුල මංසන්ධියක දහස් ගණනක් බලා සිටියදී, යෝධ දොඹකරයකින් තොණ්ඩුවක් පහතට වැටුණි. ඒ තොණ්ඩුවට ගෙල දීමට සිටියේ 16 හැවිරිදි රූමත් දැරියකි.

ඇය කළ එකම වරද, තමන්ට අතවර කළ 51 හැවිරිදි පුද්ගලයාට එරෙහිව යුක්තිය ඉල්ලා හඬ නැඟීමයි.
අධිකරණය හමුවේ තම හිස පැළඳි හිජාබය ගලවා විනිසුරුවරයාට දමා ගැසූ ඇය, "දඬුවම් දිය යුත්තේ මට නොව, මා දූෂණය කළ පුද්ගලයාටයි!" යනුවෙන් මරලතෝනි දුන්නාය. එහෙත්, නීතිය ඇයට ඇහුම්කන් දුන්නේ නැත.

විනාඩි 45ක් පුරා දොඹකරයක වැනෙමින් තිබූ ඒ සුකුමාල දේහය පිටුපස ඇති බිහිසුණු සහ අමානුෂික කතාව ඔබ දන්නවාද?

යුක්තිය වෙනුවට හිමිවූ මරණයේ තොණ්ඩුව


අතෙෆේ සහාලේ (Atefeh Rajabi Sahaaleh) යනු නෙකා නගරයේ විසූ අහිංසක දැරියකි. ඇගේ ජීවිතය උඩුයටිකුරු වූයේ 51 හැවිරිදි අලි දරාබි නම් හිටපු විප්ලවීය ආරක්ෂක සාමාජිකයෙකු අතින් ඇය බිහිසුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්වීමත් සමඟය.

තමන්ට අතවර කළ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙද්දී, වයස අවුරුදු 16ක අතෙෆේට මරණ දණ්ඩනය නියම විය. දරාගත නොහැකි වේදනාවෙන් සහ කෝපයෙන් ඇය අධිකරණය හමුවේ පවා සිය විරෝධය පෑවාය. එහෙත් එම හඬට යුක්තිය ලැබුණේ නැත.

අතෙෆේගේ ජීවිතය අවාසනාවන්ත ඉරණමකට කොටු වූයේ ඇයට වයස අවුරුදු 13 දී සිටයි.
වයස 13 දී, පිරිමි ළමයෙකු සමඟ මෝටර් රථයක සිටියදී හමුවීම නිසා මුලින්ම අත්අඩංගුවට පත්ව කස පහර 100කට සහ සිර දඬුවමකට ලක් විය.

රැඳවුම් භාරයේදී, බීබීසී වාර්තා සඳහන් කරන පරිදි, ඇය එහිදී ආරක්ෂකයින්ගේ ලිංගික අතවරයට පවා ලක්විය.

ව්‍යාජ ලේඛන, ඇයව මරා දැමීම නීත්‍යානුකූල කර ගැනීමට මේ අමනුස්සයින් ඇගේ වයස අවුරුදු 22ක් ලෙස ලේඛනවල ව්‍යාජ ලෙස සටහන් කර තිබුණි.

මෙම කතාවේ ඇති බිහිසුණුම ඛේදවාචකය වන්නේ නීතිය පසෙකලා තම වෛරය පිරිමසා ගැනීමට මෙන් අතෙෆේගේ ගෙල වටා තොණ්ඩුව දැමුවේද ඇයට මරණ දඬුවම ලබා දුන් හාජි රේසායි නම් විනිසුරුවරයා විසින්ම වීමයි. අතෙෆේගේ පියා පවා තම දියණියගේ මරණය ගැන දැන සිටියේ නැත.

විනාඩි 45ක් පුරා ඇගේ සිරුර දොඹකරයේ වැනෙමින් තිබුණේ මුළු මහත් මානව සංහතියටම අභියෝග කරමිනි.

වසර ගණනාවකට පසු ඉරානය අතෙෆේ සහාලේට නිල වශයෙන් සමාව ලබා දුන්නේය. නමුත් ඒ වන විටත් අතෙෆේගේ හුස්ම නෙකා නගරයේ සුළඟට මුසු වී හමාරය. මෙය මරණයක් නොව, ලෝකයේ මනුෂ්‍යත්වය එල්ලා මැරීමකි.

"නීතිය වල් වැදුණු දේශයක අසාධාරණ ලෙස මියගිය ඇයට, මතු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොවී සාධාරණය ඉටු වේවා!

 

විශ්වනී හසලා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කෙරේ Read Previous

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කෙරේ

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක් Read Next

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක්

Realted Post

Leave a comment