පවුල ගැන සිතනවා නම් අම්මත් හොදට කන්න ඕන
ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් හෝ කිරි දෙන අම්මා කෙනෙක් දෙන්නෙකුට හරියන්න කන්න ඕනෙද? දරුවෙක් ලැබුණු පසු බර අඩු කරගන්න ව්‍යායාම ව්‍යායාම කරන්න ජිම් එකකට යන්න ඕනෙද? නැත්නම් දරුවකු ලැබුණු පසු සෞඛ්‍ය සම්පන්න මට්ටමකට බර අඩු කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? මේ වගේ දාහක් ප්‍රශ්නය මාතෘ සායන වලදී අම්මලගෙන් අපිට අහන්න ලැබෙනවා. මේවා ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්න . දරුවකු බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ගේ සිට කිරි දෙන අම්මාවරුන් දක්වා සියලු දෙනාම මේ පිළිබඳ සත්‍ය තොරතුරු දැනගත යුතු වෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු සෞඛ්‍ය සම්පන්න බරක් කරා යන ගමනට රුකුලක් වීමට පහත සටහන තුළින් ඔබව දැනුවත් කරන්නැයි අපි බලාපොරොත්තු වෙන්නේ.
දරුවක් පිළිසිඳගත් දවසේ සිට දරු ප්‍රසූතිය දක්වා අම්මා කෙනෙකුගේ කුස තුළ වැඩෙන දරුවාට නියමාකාර පෝෂණය, ආරක්ෂාව, සහ සංවර්ධනය ලබාදීමට ශරීරය හැඩ ගැසීම පටන් ගන්නවා. මෙහිදී බර වැඩිවීම ස්වභාවික මෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දරු ප්‍රසූතියෙන් පසුව මෙම බර සාමාන්‍ය මට්ටමට ගෙන ඒම මවගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය කාරණයක් .
1. ගර්භනී සමයේ බර වැඩිවීම සෑම මවකටම එක සමානව සිදු විය යුතු නැති බව ඔබ දන්නවාද?
මාතෘ සායනයකට ගිය හැම අම්ම කෙනෙක්ම දන්නවා මුලින්ම කරන දෙයක් තමයි බර මනින එක. clinic එකට යන හැම දවසකම බර මැනල සටහන් කරනව. හැබැයි කීදෙනෙක් අහල තියෙනවද කොච්චර බරක් වැඩි වෙන්න ඕනද කියල?
ශරීරය කෙට්ටු අයෙකුටයි, තරමක් මහත අයකුටයි දෙන්නටම එකම බර වැඩිවීම සුදුසුද? මේකට උත්තරේ තියෙන්නේ ගර්භණී සටහන් පතේ තියෙන චූටි ප්‍රස්තාරෙක. ඒ ප්‍රස්ථාරේ හැටියට BMI අගය ඉතා අඩු අයකුට තරමක බර වැඩි වීමක් නිර්දේශ කරන අතර බර වැඩි හෝ ස්ථුල භාවය ඇති අම්මා කෙනෙකුට සුළු බර වැඩිවීමක් පමණක් නිර්දේශ කරනවා . මෙලෙස එක් එක් මවට ගැලපෙන ප්‍රශස්ත බර වැඩිවීමක් නිර්දේශ කර ඇත්තේ දරුවාටත් මවටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට වඩාත්ම සුදුසු බර පිළිබඳව අදහසක් ලබා දීමටයි. අනවශ්‍ය ලෙස වැඩි හෝ අනවශ්‍ය ලෙස අඩුවෙන් බර වැඩි වීම දරුවාට මෙන්ම මවටද අහිතකරවන අතර දරු ප්‍රසූතියෙන් පසුව නියමිත සෞඛ්‍ය සම්පන්න BMI අගයකට බර ගෙන ඒමට අපහසුවනවා.
එම නිසා ගර්භනී කාලය තුළදී බර වැඩිවීම කෙසේ විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වීමත්, බර වැඩිවීම ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගැනීමත් දරු ප්‍රසූතියෙන් පසුව ඉතා පහසුවෙන් බර අඩු කර ගැනීමට ඉවහල් වනු ඇත.
2. මව් කිරි දීම මවගේ බර අඩු කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ දැන සිටියද?
දරු ප්‍රසූතියෙන් පසු බර අඩු කර ගැනීමට උපකාරී වන වඩාත් ස්වාභාවික හා ඵලදායී ක්‍රමයක් වන්නේ මව්කිරි දීමයි. ඔබ මව්කිරි දෙන විට, ඔබේ ශරීරය කිරි නිපදවීම සඳහා අමතර කැලරි දහනය කරයි, එය මවගේ අමතර කැලරි ප්‍රමාණය ඉවත් කිරීමට උපකාරී වේ. මව්කිරි දීමෙන් දිනකට සාමාන්‍යයෙන් කැලරි 200 ක් පමණ දහනය කළ හැකිය.
3. මව් කිරි දෙන කාලෙට දෙන්නෙක්ට හරියන්න කන්න ඕන නැහැ
කිරි දෙන මවකට සාමාන්‍යයෙන් දිනකට අතිරේකව අවශ්‍ය වන්නේ කිලෝ කැලරි 500 ක් පමණි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ගැහැණු කෙනෙකුට අවශ්‍ය වන දෛනික කැලරි ප්‍රමාණය වන කිලෝ කැලරි 1949 ට අමතරව ඉතා සුළු ශක්ති කොටසක් පමණි. මෙම පෝෂණය ලබාගත යුත්තේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සමබර පෝෂණයක් සහිත ආහාර වේලකින් මිස අධි පෝෂී ආහාර වේලක් තුළින් නොවේ.
4. දරුවා සමග සෙල්ලම් කිරීම පවා බර අඩු කරගැනීමට උදව් වන ව්‍යායාමයක්
දරුවා සමග සෙල්ලම් කිරීම, ඇවිදීම, අතුගෑම වැනි එදිනෙදා ක්‍රියාකාරකම් දිනපතා නියමාකාරව සිදු කිරීම බර අඩු කර ගැනීමට බෙහෙවින් උදව් වෙනවා . මේ සඳහා සාමාන්‍ය නිර්දේශය වනුයේ සතිපතා මිනිත්තු 150 ක මධ්‍යස්ථ ව්‍යායාමයකි. එම නිසා සමබර ආහාර වේලක් සහ ක්‍රියාශීලී ජීවිතයකට හැඩ ගැසුනහොත් Gym හෙවත් ව්‍යායම් / කාය වර්ධන මධ්‍යස්ථානයකට ගොස් වෙනම ව්‍යායාම කිරීම අවශ්‍ය වන්නේ නැත. නමුත් ඔබට ව්‍යායාම මධ්‍යස්ථානයකට (Gym) ගොස් ව්‍යායම් කිරීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා යොමුවිය හැකිය.
මතක තබා ගන්න, එක් එක් මවගේ පසු ප්‍රසව බර අඩුවීමේ වේගය වෙනස් වන අතර, ඉලක්කය වන්නේ ඉක්මන් බර අඩු කිරීමට වඩා සෞඛ්‍ය සම්පන්නව ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමයි.

Leave a comment