පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

1982 වසරේ තිරගත වූ ජනප්‍රිය E.T. the Extra-Terrestrial චිත්‍රපටය බොහෝ දෙනෙකුට අදටත් මතකය. එහි සිටින ආදරණීය පිටසක්වළ ජීවියා වන E.T. සැඟවී සිටින තැනින් එළියට ගෙන්වා ගැනීමට භාවිත කළේ චොකලට් කැබලි කිහිපයකි.

නමුත් සැබෑ ලෝකයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණියහොත්, ඔවුන්ට අප කන ආහාර රසවත් වේවිද? නැත්නම් ඒවා ඔවුන්ට අනතුරුදායක වේවිද?

මේ පිළිබඳව ස්පාඤ්ඤයේ වලෙන්සියා විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාඥ මහාචාර්ය හොසේ මිගෙල් සොරියානෝ ඩෙල් කස්ටිලෝ සිත්ගන්නාසුලු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්යවරයා පවසන්නේ, පෘථිවියේ ජීවත් වන සියලුම ජීවීන්ගේ ජීර්ණ පද්ධතිය එකිනෙකට වෙනස් බවයි. උදාහරණයක් ලෙස ගවයන් තණකොළ ජීර්ණය කරන්නේ ඔවුන්ගේ ආමාශයේ ජීවත් වන විශේෂ බැක්ටීරියා නිසාය. එම බැක්ටීරියා නොමැති නම් ගවයන්ට තණකොළ ආහාරයක් ලෙස භාවිත කළ නොහැක.

එසේ නම්, ආලෝක වර්ෂ ගණනක් ඈතින් පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ ශරීරය සහ ජීර්ණ පද්ධතිය කොතරම් වෙනස් විය හැකිදැයි සිතාගත හැකිය. ඒ නිසා අපට රසවත් සහ පෝෂ්‍යදායී බත්, පාන්, පලතුරු, මස් හෝ චොකලට් වැනි ආහාර ඔවුන්ට කිසිදු පෝෂණයක් නොදෙනවා පමණක් නොව, විෂ සහිත වීමටද ඉඩ තිබේ.

මහාචාර්යවරයා පවසන්නේ, පෘථිවියේ ප්‍රෝටීනවල ඇති ඇමයිනෝ අම්ල ඔවුන්ගේ ශරීරයට නොගැළපිය හැකි අතර, අපේ සීනි වර්ග පවා ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට භාවිත කළ නොහැකි විය හැකි බවයි.

විද්‍යාඥයන්ට අනුව, පෘථිවියට පැමිණෙන දියුණු පිටසක්වළ ජීවීන් අපේ ආහාරවලට වඩා පෘථිවියේ ඇති මූලික රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට ඉඩ ඇත. ඒවා අතර, ජලය, නයිට්‍රජන්, පොස්පරස්, යකඩ, ලවණ, මේද, ක්ෂුද්‍ර ජීවීන්, සරල කාබනික සංයෝග වැනි ද්‍රව්‍ය ඇතුළත් වේ.

ඔවුන් මෙම ද්‍රව්‍ය තමන්ගේම ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව පරිවර්තනය කර අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබාගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරති.

වසර ගණනාවක් පුරා ලොව පුරාම පැතිර ගිය UFO කතා අතරින් ජනප්‍රියම කතාවක් වන්නේ පිටසක්වළ ජීවීන් එළදෙනුන් පැහැරගෙන යන බවයි. මෙම කතා සත්‍ය බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.

එහෙත් මහාචාර්යවරයා පවසන්නේ, යම් දිනක පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණියහොත්, ඔවුන් සතුන්ගේ ශරීරය අධ්‍යයනය කර පෘථිවියේ ජීව විද්‍යාව සහ ආහාර පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කළ හැකි බවයි.

මහාචාර්යවරයාගේ ගණනය කිරීම් අනුව, ජීවියෙකුගේ ශරීර ප්‍රමාණය අනුව ශක්ති අවශ්‍යතාව වෙනස් වේ. කිලෝග්‍රෑම් 70ක් බර පිටසක්වළ ජීවියෙකුට දිනකට කැලරි 1,700ක් පමණ අවශ්‍ය විය හැක. කිලෝග්‍රෑම් 150ක් බර විශාල ජීවියෙකුට කැලරි 3,000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය විය හැක.

මෙය ජීවත්ව සිටීමට අවශ්‍ය අවම ශක්තිය පමණි. ඇවිදීම, සිතීම, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හෝ අභ්‍යවකාශ යානයක් පදවීම සඳහා තවත් විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

තවත් සිත්ගන්නාසුලු අදහසක් වන්නේ, අනාගතයේදී පෘථිවියට පැමිණෙන්නේ ජීවීන් නොව අති දියුණු රොබෝ යන්ත්‍ර විය හැකි බවයි. විද්‍යාඥයන්ට අනුව, ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තම ජීව විද්‍යාත්මක ශරීර අතහැර කෘත්‍රිම ශරීර භාවිත කරන තත්ත්වයට පත්ව තිබිය හැක.

එවැනි රොබෝ ජීවීන්ට බත්, පාන් හෝ මස් අවශ්‍ය නොවී, විදුලිය, තාප ශක්තිය, රසායනික ශක්තිය, න්‍යෂ්ටික ශක්තිය වැනි ශක්ති ප්‍රභවයන් පමණක් ප්‍රමාණවත් විය හැකිය.

අද වනතුරු මිනිසුන් පිටසක්වළ ජීවීන් සොයාගෙන නොමැති නිසා, ඔවුන්ගේ ආහාර පුරුදු ගැන ස්ථිර පිළිතුරක් දීමට නොහැකිය. කෙසේ වෙතත්, විද්‍යාඥයන් පවසන්නේ පෘථිවියට පැමිණෙන ජීවීන් අප සමඟ එකට වාඩි වී බත් කෑමට වඩා, තමන්ට අවශ්‍ය ශක්තිය පෘථිවියේ ඇති ජලය, ඛනිජ ද්‍රව්‍ය සහ කාබනික සංයෝගවලින් ලබාගැනීමට වැඩි ඉඩක් ඇති බවයි.

ඒ නිසා, E.T. චිත්‍රපටයේ චොකලට් කෑ පිටසක්වළ ජීවියා සැබෑ ලෝකයේ සිටියා නම්, ඔහුට චොක්ලට් වලට වඩා පෘථිවියේ රසායනික ද්‍රව්‍යවලට වැඩි කැමැත්තක් තිබෙන්නට ඉඩ තිබේ.

අශන්ති වරුණසූරිය

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Previous

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Next

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Realted Post

Leave a comment