බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවත්, එම අවස්ථාවේදී බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැයට හැරණු බවත් ශ්‍රී ලංකාවේ ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම පූජනීය හා ඓතිහාසික කතා පුවතට තේමාවූ "රන් දෝතළු' ශාකය (Loxococcus rupicola), මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි අතිශය දුර්ලභ තාල වර්ගයේ (Palm family) ශාකයකි.

කෙසේවෙතත්, ස්වාභාවික පරිසරයේ පැවැත්මට එල්ල වී ඇති විවිධ තර්ජන නිසා 2020 වර්ෂයේ නිකුත් වූ ජාතික රතු දත්ත ලැයිස්තුව මගින් මෙම ශාකය "අන්තරායට ලක්වූ (Endangered - EN)" ශාක විශේෂයක් ලෙස නිල වශයෙන් නම් කර ඇත.

උද්භිද විද්‍යාත්මකව මෙම ශාකය සතු විශේෂත්වය පිළිබඳව පැහැදිලි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ඉසුරු කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මෙය "Monotypic Genus" එකක් හෙවත් මුළු ලෝකයටම එකම එක ගණයකුත්, එම ගණයට අයත් එකම එක විශේෂයකුත් පමණක් පවතින අතිශය දුර්ලභ ශාකයක් බවයි. එබැවින් පරිසර පද්ධතිය තුළ මෙහි ජෛව විවිධත්ව වටිනාකම ඉතා ඉහළ අගයක් ගනී.

මෙම ශාකයේ ස්වාභාවික ව්‍යාප්තිය පවතින්නේ නිරිතදිග තෙත් කලාපය, නකල්ස් කඳු පන්තිය, ශ්‍රී පාද අඩවිය, ගොන්ගල සහ දෝතළුගල වැනි උප කඳුකර හා කඳුකර ප්‍රදේශවල පමණි. විශේෂයෙන්ම මුහුදු මට්ටමේ සිට මීටර් 300 ත් 1500 ත් අතර උසින් පිහිටි නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත අධික ශීඝ්‍ර බෑවුම් සහිත පර්වත පරිසරයන්හි මෙය වර්ධනය වේ.

රන් දෝතළු ශාකය වඳවී යාමේ දැඩි අවදානමකට ලක්වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙහි ස්වාභාවික බෝවීම ඉතා මන්දගාමී වීමයි. බීජ මගින් ප්‍රචාරණය වීම ඉතාම අඩු ප්‍රතිශතයකින් සිදුවන අතර, පරිසර හානිය සහ වනාන්තර පිරිහීම හමුවේ මෙම ශාක ගහනය තවත් පහත බසිමින් පවතී. ආගමික හා ඓතිහාසික උරුමයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මෙම වටිනා ජෛව සම්පත අනාගත පරම්පරාව උදෙසා ආරක්ෂා කරගැනීමට පර්යේෂණාත්මක හා සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

අංජු බණ්ඩාර 

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Previous

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment