බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

කන්ද උඩරට මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දේව ආභරණ වැඩමවීමේ ගෞරවනීය රාජකාරිය භාරව කටයුතු කරන්නේ හෙයියන්තුඩුවේ රාමා හස්තිරාජයාය. 

මෙවරත් එම රාජකාරිය ගෞරවාන්විතව හා මැනවින් ඉටු කරමින්, තේජාන්විත ලෙස පෙරහර වීදි සංචාරයේ යෙදුණු මේ සද්ධන්තයා සොයා අපි සෙංකඩගල ශ්‍රී විෂ්ණු දේවාලයට ගියෙමු. ඒ, අපේ පාඨක ඔබටත් රාමා හස්තිරාජයා පිළිබඳ තොරතුරු බිඳක් ගෙන ඒමේ අටියෙනි.

හෙයියන්තුඩුවේ රාමාගේ උපත

1969 වර්ෂයේදී උපත ලදැයි විශ්වාස කෙරෙන රාමා මේ වන විට අවුරුදු 57ක් සපිරූ සද්ධන්තයෙකි. තාරුණ්‍යය පසුකරමින් සිටියද, අදටත් ඔහුගේ තේජාන්විත බවෙහි අඩුවක් නම් නැත.

රාමාගේ මුල්ම අයිතිකරුවෝ

1978 වර්ෂයේදී, එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ වරාය හා ගුවන් සේවා අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විමලා කන්නන්ගර මහත්මිය විසින් රාමා ත්‍යාගයක් ලෙස වැලිගොඩ අග්‍රබෝධි රජමහා විහාරාධිපති, කැලණිය මහා විහාරයේ වැඩ විසූ වත්තල සීලරතන හිමියන් වෙත පරිත්‍යාග කර තිබේ.

එවකට "දන්ත කණ්ඩුල” නමින් හඳුන්වනු ලැබූ මෙම හස්තියා, එක් දළයක් පමණක් හිමි සද්ධන්තයෙකු ලෙස පින්නවල අලි අනාථාගාරයෙන් විමලා කන්නන්ගර මහත්මිය විසින් ලබාගෙන, සීලරතන ස්වාමීන් වහන්සේ වෙත පරිත්‍යාග කර ඇත.එම වසරේදීම සීලරතන ස්වාමීන් වහන්සේ විසින් රාමාගේ රැකවරණය හා භාරකාරත්වය හෙයියන්තුඩුව වලව්වේ ටියුඩර් ගුණසේකර මහතා වෙත පවරා තිබේ. එදා සිට මෑතක් දක්වාම ටියුඩර් ගුණසේකර මහතාගේත්, පසුව හසිත ගුණසේකර මහතාගේත් සෙනෙහස හා රැකවරණය මැද, කීකරු දරුවකු සේ රාමා හැදී වැඩී තිබේ.

2026දී රාමාට අලුත්ම නවාතැනක්

2026 වසරේ සිට රාමා කැලණිය රජමහා විහාරයේ හස්ති පන්තියේ නවතම සාමාජිකයා බවට පත්ව තිබේ. වසර ගණනාවක් පුරා විවිධ දේවාල හා පෙරහරවල රාජකාරි ඉටු කළ මේ සද්ධන්තයාට එය ඔහුගේ ජීවිතයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයකි.

දන්ත කණ්ඩුල, හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

රාමාට මේ නම පටබැඳුණු ආකාරය පිටුපසත් අපූරු කතාවක් තිබේ. එකල රාමා සිටියේ ටියුඩර් ගුණසකර මහතාගේ හස්ති පන්තියේය. එම හස්ති පන්තියේම සාමාජිකත්වය ලබා සිටි තවත් සුවිශේෂී හස්තිනියක වූයේ මහරගම සීතා ඇතින්නියයි. ඉන්දියාවේ මෙන්ම මෙරටත් ජනප්‍රිය රාමා–සීතා ඉතිහාස කතාව සිහිපත් කරමින්, සීතාට ගැළපෙන්නට මෙන්න රාමා කෙනෙක් යැයි සිතා, එක් දළයක් හිමි කණ්ඩුල එදා පටන් “හෙයියන්තුඩුවේ රාමා ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.

රාමා “ගහේ බඳින” කාලය

සෑම වසරකම පෙබරවාරි සිට ජූලි මාසය දක්වා කාලය රාමාගේ මද කිපෙන කාලසීමාව ලෙස සැලකේ. එම කාලයේදී රාමා පෙරහර සඳහා රැගෙන යාම අපහසු බැවින්, පෙබරවාරි සිට ජූලි දක්වා පැවැත්වෙන පෙරහරවලදී ඔහු දකින්නට නොලැබේ. එහෙත් අගෝස්තු සිට ජනවාරි දක්වා කාලසීමාවේ පැවැත්වෙන බොහෝ පෙරහරවලදී රාමාගේ ගාම්භීර පෙරහර ගමන් ලීලාව දැකගැනීමට හැකිය.

ශ්‍රී විෂ්ණු දේවාලයේ රාජකාරිය අකුරටම ඉටු කරන රාමා

රාමා කලක් කෑගල්ල ආසන්න ප්‍රදේශයක හස්ති භාරකරුවන්ගේ සෙවණේ හැදී වැඩී තිබේ. එම කාලයේදීත් ඔහු ශ්‍රී විෂ්ණු දේවාලයේ රාජකාරිය මැනවින් ඉටු කර ඇත. 

ඒ පිටුපසත් රසවත් සිදුවීම් කිහිපයක් තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩිමුන්ඩ දෙවියන් කෙරෙහි දක්වන්නේ බිය මුසු ගෞරවයකි. ඒ භක්තිය නිසාම අලි ඇතුන් ඇතුළු විවිධ දෑ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පූජා කරනු ලබන්නේ මහත් ගෞරවයෙනි. කෑගල්ලේ කාලයක් ගත කළ රාමාද එම ජනතාවගේ භක්තිමත් හැඟීම් මැද, ශ්‍රී විෂ්ණු දේවාලයේ රාජකාරිය දෙවියන් වෙනුවෙන් කැපවූ හස්ති පින්වතෙකු ලෙස ගෞරවාන්විතව ඉටු කර තිබේ.

ශ්‍රී විෂ්ණු දේවාලයට පෙර නාථ හා පත්තිනි දේවාලවල රාජකාරි

මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන දේවාභරණ වැඩමවීමේ රාජකාරියට පෙර රාමා නාථ හා පත්තිනි දේවාලවලද රාජකාරි ඉටු කර තිබේ. මෑත කාලයේදී ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන දේවාභරණ වැඩමවීමේ රාජකාරිය භාර ගැනීමට පෙර, ගැමුණු වලිසුන්දර නිලමේතුමා සිටි සමයේ මහනුවර පත්තිනි දේවාලයේ රාජකාරියද රාමා අකුරටම ඉටු කර ඇත.

තමන් හරි යැයි සිතන අහිංසක මුරණ්ඩු කොල්ලෙක්

රාමා කියන්නේ හරිම අහිංසක චරිතයකි. එහෙත් පුංචි මුරණ්ඩුකමක් නැත්තේමත් නැත. බලාගන්නා මාමාලා යමක් කියන්නටත් පෙර, තමන් කැමති දේ කරන්නට ඔහු ටිකක් කැමතිය. ඒ වගේ පුංචි පුංචි, ආදරණීය මුරණ්ඩු ගතිගුණ රාමා තුළ දැකගත හැකිය.

රාමාගේ රසබර සුන්දර අත්දැකීම් - නාන්න ගිහින් නිකන් ආවේ නැහැ… පාරෙත් තදබදයක් හදලා!

දිනක් උදෑසන රාමා නාන්න ගොස් තිබුණේ ඔහුගේ බලාගන්නා ඩෙන්කුට්ටා මාමා සමඟය. නා අවසන් කර ආපසු එන අතරතුර අත්තනගල්ල ප්‍රධාන මාර්ගය අසලින් යන විට, රාමා විශාල කොස් අතු මිටක්ද කඩාගෙන පැමිණ තිබේ. එහිදී රාමා සහ ඩෙන්කුට්ටා මාමා අතර පුංචි ආරවුලක් ඇති වී තිබේ. ඒ කේන්තියට රාමා අත තිබූ කොස් අතු මිට ප්‍රධාන මාර්ගයට දමා, කිසිවක් සිදු නොවූ ආකාරයට පන්සලට පැමිණ තිබේ. රාමා පන්සලට නිවී සැනසිල්ලේ පැමිණියද, ඔහු මාර්ගයට දැමූ කොස් අතු මිට නිසා ප්‍රධාන මාර්ගයේ පැය භාගයක පමණ වාහන තදබදයක් ඇතිව තිබුණි.

බෙහෙත් බොන්නත් හොර රාමා

පසුගිය කාලයේදී රාමාට සමේ රෝගයක් ඇතිව තිබූ අතර, එම අවස්ථාවේදී බෙහෙත් ලබාදීම බලාගන්නන්ට තරමක් අසීරු කාර්යයක් වී තිබේ. විවිධ උපක්‍රම අත්හදා බැලූ අතර, රාමා කෑමට කැමති ආහාරවලට බෙහෙත් මිශ්‍ර කර ලබාදීමද සිදු කර ඇත. නමුත් රාමා එදා එම ආහාරය කෑ පසු, පසුදා එම ආහාරය කටේ තබා ගැනීමටවත් ළඟට යන්නේ නැත. ඒ උපක්‍රමයත් සාර්ථක නොවූ විට, රාමාගේ තවත් පුරුද්දක් බලාගන්නන්ට මතක් වී තිබේ. ඔහු යන මාර්ගයේ වැටී ඇති ආහාර අහුලාගෙන කෑමට රාමා පුරුදුව සිටියේය.

ඒ අනුව බෙහෙත් මිශ්‍ර කළ ආහාර රාමා යන මාර්ගයේ, ඔහුට පහසුවෙන් අහුලාගෙන කෑ හැකි ආකාරයට තබන්නට පටන් ගෙන තිබේ. අවසානයේ එම අපූරු උපක්‍රමයෙන් රාමාගේ සමේ රෝගය සුව කරගැනීමට හැකි වී තිබේ.

හස්ති පාලක මාමලාගේ ආදරය මැද රාමා

අද වන විට රාමා හස්ති පාලකවරුන් කිහිපදෙනෙකුගේ ආදරය, රැකවරණය සහ සෙනෙහස මැද සුවසේ කාලය ගත කරයි. සේකර බාසුන්නැහේ, පියතිස්ස බාසුන්නැහේ, තුෂාර සහ කොටගල නිමල් යන හස්ති පාලකවරුන්ගේ රැකවරණය යටතේ රාමා සුරක්ෂිතව සිටී. වසර 57ක් පුරා දිග හැරුණු රාමාගේ ජීවන ගමනේ, ඔහුට ආදරය කළ මිනිසුන් බොහෝය. අදත් ඔහුගේ තේජාන්විත ගමන දෙස බලා සතුටු වන දහස් සංඛ්‍යාත ජනතාව අතර රාමාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සද්ධන්තයෙකුගේ තේජසත්, කීකරු දරුවෙකුගේ අහිංසකකමත් එකට කැටි කරගත් හෙයියන්තුඩුවේ රාමා, මහනුවර ඇසළ පෙරහර සංස්කෘතියේ තවත් ආදරණීය මතකයක් බවට පත්ව සිටියි.

සටහන – මහේෂානි මීගහපොල
අදහස් දැක්වීම – පශු වෛද්‍ය රංග ප්‍රභාත්

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Previous

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment