බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා

බුදු දහම යනු ජීවිතයේ යථාර්ථය ප්‍රඥාවන්ත බව තේරුම් බේරුම් කර ගැනීම ගැන කියාදෙන, හෑම කාලය කාලයකම ගැළපෙන, ලොව සෑම පුද්ගලයෙකුටම පිළිපැදිය හැකි, කාටත් සර්ව සාධාරණ වූ දහමක්. මිනිසා කෙරෙහි පවතින රළු ,කටුක බව පහකර ගනිමින්, ලෝකය මිනිසාට හිතකාමී සුවකාමී සුන්දර ලෝකයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය අනුශාසනා හා ධර්මය වදාරමින් බුදුන් වහන්සේ වසර 45ක් පුරා දේශනා කළ ධර්මය හා බැඳුණු වැදගත් සිදුවීම් රාශියක් බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.

බෞද්ධ ඉතිහාසයට අනුව මේ නොවැම්බර් මාසය හෙවත් ඉල් මාසයේ පුර පසළොස්වක පොහෝදා සිදු වූ වැදගත් සිදුවීම් රාශියකි. ඒ ගැන සැකෙවින් දැනගැන්ම බෞද්ධයන්ට ඉතා වැදගත්ය.

පුර පොහෝදා පින්කම්වල ආරම්භය

බුද්ධකාලීන භාරතයේ සිටි ජෛන,නිගණ්ඨ, පරිබ්‍රාජක ආදී වූ අන්‍ය ආගමික ශ්‍රමණයන්, සෑම මසකම පුර පසළොස්වක පොහෝ දිනය ඔවුන්ගේ විශේෂිත වූ ආගමික දිනයක් ලෙසින් සලකා කටයුතු කිරීම සිරිතක් වුණා.ඒ අනුව පුර පොහෝදා දිනට ආගමික නායකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් එකට එක්ව විශේෂ පූජාවන් සිදුකිරීම නිසාම ඒ ආගමික නායකයින් හා අනුගාමිකයින් අතර ගිහි පැවිදි සම්බන්ධතාව ශක්තිමත් වුණා.

බිම්බිසාර මහරජතුමා බුදු හිමියන් හමුවී බෞද්ධයන් අතරද මෙවැනි චාරිත්‍රයක් ඇති කරන ලෙසින් ඉල්ලීමක් කළා. එහි වැදගත්කම තේරුම් ගත් බුදු හිමියන් පොහොය දිනය බෞද්ධයන්ගේද විශේෂ ආගමික කටයුතු සිදු කෙරෙන දිනයක් ලෙසින් සලකන්නැයි අනුදැන වදාළා.

බොදු හිමිගේ අනුමැතිය අනුව එතැන් පටන්, පුර පසළොස්වක, අව පසළොස්වක, පුර අටවක අව අටවක පොහොය දිනයන් බෞද්ධයන්ගේ ද විශේෂ පුදපූජා සිදුකරන්නට යොදා ගත්තා. පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම වෙනත් විශේෂයෙන්ම සීල ප්‍රතිපදා ආදිය සිදුකිරීමට බෞද්ධ භික්ෂුව හා ගිහියන් කටයුතු කරන්නට පටන් ගැනුණු නිසා, එතැන් පටන් බෞද්ධ ගිහි පැවිදි සම්බන්ධතාවද දියුණු වූවා. පොහොය දිනය එලෙසයි බෞද්ධයන් අතර ආගමික දිනයක් ලෙසින් ප්‍රචලිත වූයේ.

ඉල් පුන් පොහෝදා සමග බැදුණු විශේෂ සිදුවීම්

වස් පවාරණය - පෙර වස් සමාදානය හා පසුවක් සමාදානය ලෙසින් වස් සමාදන්වීම ආකාර දෙකකි. ඇසළ පොහෝ දින වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ නිකිණි පොහෝදා වස් පවාරණය කරන අතර, ඇසළ පොහෝදා වස් සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන් ඊට පසුව එළඹුණු නිකිණි පොහෝදා වස් සමාදන්ව, ඉල් පුන් පොහෝදා වස් පවාරණය කරනවා. ඒ නිසා ඉල් පොහොය යනු බෞද්ධ ගිහි බැතිමතුන්ගේ කඨින චීවර පූජාවේ අවසන් පොහෝ දිනයයි.

ප්‍රථම ධර්ම දූත පිරිස දහම් ප්‍රචාරයට ගමන් ඇරඹීම.

බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන් රහත්භාවයට පත් වූ පසු, ඉසිපතනාරාමයට ආ යසකුල පුත්‍රයාත්, ඔවුන්ගේ යාළුවන් 54 දෙනාත් පැවිදිව රහත් වූ පසුව බුදුන් වහන්සේ සමග පළමු ධර්ම දූත කණ්ඩායම 61ක් විය. පළමුව වස් පවාරණයෙන් පසු බුදුන් වහන්සේ සැමට මෙලෙස වදාළා.

"මහණෙනි, බොහෝ දෙනාට හිතසුව පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිසද,සැප පිණිස චාරිකාවේ යෙදෙන්න.  දෙදෙනෙක් එක මඟින් නොයා, මුල මැද අග අර්ථ සහිතව ධර්මය දේශනා කරන්න." බුදුහිමියන් එසේ වදාළා, තමනුත් උරුවෙල් දනව්වට වැඩම කළ සේක.

තුන් බෑ ජටිලයන් දමනය කිරීම.

ඉල් පුණු පොහෝදා උරුවෙල් දනව්වට වැඩම කරන්නට යෙදුණු බුදුන් වහන්සේ ප්‍රථමයෙන් උරුවෙල් කාශ්‍යපත්, ඔවුන්ගේ අනුගාමිකයන් 500 දෙනාත්,දෙවනුව ඔවුගේ සොයුරු නදී කාශ්‍යප හා අනුගාමිකයන් 300 දෙනාත්, අවසන බාල සොහොයුරු ගයා කාශ්‍යප හා ඔහුගේ අනුගාමිකයන් 200 දෙනාත් දමනය කොට පැවිදි බවට පත් කෙරුණි. ඉන්පසුව ඔවුන්ට බුදුහිමිි දෙසූ ආදිත්ත පරියාය සූත්‍රය අසා මේ 1003 දෙනාම රහත් ඵලයට පැමිණුනා.

මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණ ලැබීම.

සැවැත් නුවරට කිට්ටු සංකස්ස නුවර, සිරිවඩ්ඩන නම් සිටුවරයෙකුගේ පුතෙකු ලෙසින් ඉපිද සිටි මෛත්‍රී බෝධිසත්වයන්, ඒ වනවිට ගෞතම බුදු සසුනේ පැවිදි වී සිටි අතර, මේ භික්ෂුවට ද වස් පවාරණයෙන් පසු අගනා සිවුරු දෙකක් ලැබිණි. උන්වහන්සේ තමන්ට ලැබුණු මේ අගනා වස්ත්‍ර දෙකෙන් එකක් බුදු හිමියන්ගේ ගන්ධකුටියේ යහනේ උඩු වියනක් ලෙසත්, ඉතිරි සිවුර හතරට කඩා යහනෙහි හතර කොනේ දජ හතරක් ලෙසින් එල්වා ප්‍රාර්ථනයක් කළා. මේ ප්‍රාර්ථනාව ගැන දිවැසින් දුටු බුදුහිමියන් "ඔබ මේ භද්‍ර කල්පයේම මෛත්‍රිය නමින් බුදු වන්නේ' යැයි නියත විවරණ දුන් සේක.එය සිදුවුණේද ඉල් පුන් පොහෝ දිනයකය.

එසේම,අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ තමන් උපන් රටවූ මගධ රටේ නාලක ග්‍රාමයට වැඩම කොට, ඒ වනවිට මිථ්‍යාදෘෂ්ටික ව සිටි තම මව වන සාරි බැමිණියට බුදුන්ගේ ගුණ දේශනා කොට ඇයව සෝවාන් ඵලයට පමුණුවා පිරිනිවන් පෑවේ ද ඉල් පුන් පොහෝ දිනකයි.

ලක්දිව බුදු සසුන පිහිටුවීමෙන් පසු ප්‍රථමයෙන්ම ඉදි කළ චෛත්‍ය වන ථූපාරාම චෛත්‍යයත්, සුමන සාමණේරයන් වහන්සේ දඹදිවින් වඩම්මා ගෙන පැමිණිසර්වඥ ධාතූන් හා දකුණු අකුධාතුන් වහන්සේලා තැන්පත් කළේත් ඉල් පුන් පොහෝ දිනකයි.

මේ අනුව බලන කල බෞද්ධයන්ට ඉල් පුණු පොහෝදා යනු වැදගත් සිදුවීම් රැසක් වෙනුවෙන් සිහිතබාගත යුතු පුන් පොහෝ දිනයකි.

  • ආනන්ද රණතුංග.

 

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්? Read Previous

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්?

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි Read Next

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

Realted Post

Leave a comment