භාවනාවට කැමැති අභිෂේක්

 

ගෙවින් අභිෂේක් බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. මෙවර සුමති සම්මාන උලෙළේදී 2022 වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය තමා සතු කර ගැනීමට සමත්වීම තුළ ඔහුගේ ගමන සාර්ථකබවට ඉඟි සපයනවා. ඔහු නළුවෙක් පමණක් නොවෙයි දක්ෂ ගායන ශිල්පියෙක් වගේම මෙරට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද වූෂු ක්‍රීඩකයෙකුද වෙනවා. මේ ගෙවින් අභිෂේක් සමග අප කළ කතාබහක සටහනයි. 

  • රංගන ශිල්පියෙක්වීම ගැන මොකද හිතෙන්නේ? 

මගේ ක්ෂේත්‍රය රංගන හා ගායනය. අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ කලා ක්ෂේත්‍රයේ නවකයින්ට අවස්ථාව තිබෙනවා. නිවැරදි ආකාරයෙන් වැඩ කටයුතු කරනවෘ නම් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන්. මේ ක්ෂේත්‍රය ගැන මට තියෙන්නෙ ධනාත්මක අදහසක්.

  • ඒ කියන්නේ ඔබට මේ ගමන එන්න ප්‍රවීණයින්ගේ සහාය ලැබුණා කියන එකද? 

මගේ ප්‍රථම නිර්මාණයේ රඟපානකොට මගේ වයස අවුරුදු දාසයයි. මගේ වාසනාවට හැමවිටම ගුණාත්මකභාවයකින් යුත් නිර්මාණවලට එක්වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා ප්‍රවීණ ශිල්පීන් සමග වැඩ කිරීමටත් අවස්ථාව ලැබුණා. මට ඒ අයගෙන් තව තවත් වෙනස් දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ රංගන හැකියාව ඔපමට්ටම් කරගත්තා. ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගුරුහරුකම් නිසා තමයි මම අද  මෙවැනි තත්ත්වයක සිටින්නේ.

  • ළඟදි ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?  

ඒ පිළිබඳ නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය සහ නාමල් ජයසිංහ මහත්මයාගේ තිර රචනයක් වන පීතෘ ටෙලි නාට්‍යයේ ශානකගේ චරිතය වෙනුවෙන් 2022 නැගීගෙන එන නළුවා සම්මානය මට ලැබුණා. ඒ චරිතය ගොඩනගා ගන්න ටෙලි නාට්‍යයේ රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මේ මගේ හීන ව්‍යපෘතියේ ප්‍රතිඵලයක්. මේ සඳහා සියයට සීයක් මම කැපවුණා. ඒ වගේම ශානකගේ චරිතයට මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙනුත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.

  • තාත්තා රංගන ශිල්පියෙක්වීම ඔබේ ගමන පහසු කළා ද? 

මගේ පියා චින්තක කුලතුංග. රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්. ඔහු මගේ පියා වීම ගැන හුඟක් සතුටුයි. ඒ නිසා මට ක්ෂේත්‍රයේ යම්කිසි පිළිගැනීමක් ලැබී තිබුණත් ඒ පසුබිම භාවිතා කරමින් මම නිර්මාණවලට දායක වුණේ නැහැ. මගේ පියාගේ මතය වුණේ මගේ දක්ෂතාවයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න කියලයි. මේ ක්ෂේත්‍රයට ඕනෑම කෙනෙකුට පිවිසිය හැකියි. නමුත් දක්ෂතාවයක් නොමැතිව රැඳෙන්න බැහැ.  මගේ උත්සාහයෙන්, මගේ දක්ෂතාවයෙන් නිර්මාණවලට දායකවෙන්න අවස්ථාව ලැබුණත් ඒ ස්ථානවලදී මං ගැන සොයා බලන්න ගොඩක් අය සිටියා. ඒ මගේ පියාට ක්ෂේත්‍රයේ ලැබී තිබුණු වටිනාකම නිසයි.

  • ඔබ ජාතික මට්ටමේ වූෂූ සටන් කලා ශිල්පියෙක් නේද?

 ඔව්. මට කලා ක්ෂේත්‍රය සම්බන්ධ ආශාවක් ඇතිවෙන්න පටන් ගත්තේ පාසල් කාලයේ සිටම වූෂූ ක්‍රීඩාවට සම්බන්ධ වූ නිසා. එය උසස් පෙළ දක්වාම ලංකාවේ ජාතික තලයට වනතෙක්ම  පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළා. ඒ සඳහා ජයග්‍රහණත් හිමි කරගෙන තිබෙනවා. මම ඒ කාලේ ඉඳලම බෲස්ලිට වගේම මයිකල් ජැක්සන්ටත් හුඟක් කැමතියි.

  • ගායනයටත් දක්ෂයි නේද? 

මම කුඩා කාලයේ සිටම ගායනයට කැමැත්තකින් සිටියේ. වේදිකාවක සජීවී ගායනයක යෙදෙන්න විශාල ආසාවක් තිබුණා. නමුත් ඒ දේවල් රංගනයත් එක්ක ටිකක් මගහැරුණා. නමුත් ‘මා නොවන මම’ වැඩසටහනට සහභාගි වී ගීත ගායනා කිරීමත් සමගම මට ඉතා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා.  ඒ හරහා පිටරටවල්වල පැවැත් වූ සංදර්ශනවලට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබුණා.
ඔබ ජීවිතය දකින්නේ කොහොමද?
මම කුඩා කාලයේ සිටම බෞද්ධ ධර්මය, කලාව සහ සොබාදහම සමග ළඟින්ම ඇසුරු කළ කෙනෙක්. තරුණයෙක් ලෙස සමාජයේ ජීවත්වෙන්න පටන් ගැන්මත් සමගම දුක සැප සම්බන්ධ අමුතුම අත්දැකීම් ලබන්න පුළුවන් වෙනවා. ජීවිතය යනු කුමක්ද කියා සොයා යන්න මම කැමතියි. ඒ වගේම කුඩා කාලයේ සිටම භාවනාව පිළිබඳව කැමැත්තක් තිබෙන නිසා එවැනි වැඩසටහන්වලටත් මම සහභාගී වෙනවා. 

  • ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ගීත ගායනය පැත්තෙන් තව ටිකක් ඉදිරියට යන්න අදහසක් තිබෙනවා. දැනට මගේ ගීත හතරක් කරලා තිබෙනවා. ඒ වගේම පිටරට සංගීත ප්‍රසංග කීපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. චිත්‍රපට රංගන ශිල්පියෙක්වීමට ආසාවක් තිබුණත් ගීත ගායනා කිරීමත් සමග ඒ හීනය මඳකට නවතා ගායන ශිල්පියෙක්වීමට පියවර තබන්න හිතා ගත්තා. කුඩා කාලයේ පටන්ම මගේ තිබුණු ආශාව දැන් ක්‍රියාවට නංවන්න කාලය ඇවිත් තිබෙන්නේ.

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Previous

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Next

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

Realted Post

Leave a comment