මම ජීවිතේ හුඟක් දේවල් දරාගත් කෙනෙක්

 
 

සුධීක්ෂා සමාධි කියන්නේ කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රේක්‍ෂක ආදරයක්  ලබාගත්  රංගන ශිල්පිනියක්. උපතින්ම හිමි කැරලි ගැසුණු කොණ්ඩය නිසාම ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් සුධීක්ෂා මේ දිනවල පුංචි තිරයේ බොහෙවින් ජනප්‍රිය චරිතයක්.


මේ දිනවල රූපවාහිනී තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකින්ම හමුවන ඇය මෙවර සිරිකත කවරය සැරසීමට අප සමග එක්වුණා. මේ සටහන ඇය හා කළ කෙටි කතාබහක්. 


මේ සුදීක්ෂා ගේ වාසනාව කැරකෙන කාලයද?
වසර 2022 මට විශේෂිත වූ වසරක්. මම දායක වන ටෙලි නාට්‍ය කිහිපයක්ම එකවර විකාශය වුණා. මම ක්ෂේත්‍රයට ආවේ  2014 වසරෙදි.  ටිකෙන් ටික කලාව ගැන  ඉගෙන ගනිමින්  තමයි මේ ගමන ආවේ. මුලදි මට ලැබෙන චරිත වල  දිග පළල සොයන්න ගියේ නැහැ. මට ලැබෙන්නේ  පොඩි චරිතයක්ද  ඒක මම කැපවීමෙන් කරන්න  උත්සාහ කළා.  මම කවදාවත්  ප්‍රධාන චරිත බලාගෙන රඟපාන්න ආවේ නැහැ. මම දැනට ටෙලි නාට්‍ය දහනවයක පමණ රඟපාලා  තියෙනවා.  ඉන් ගොඩාක්ම මට ලැබිලා තියෙන්නේ  ඉතාමත් පොඩි චරිත. මම ඒවා උපරිම කැපවීමෙන් කළා. සිරසේ විකාශය වූ  පැහැසරා, ස්වාධීන රූපවාහිනියේ  විකාශය වූ බ්‍රෝ සහ හේලි ටෙලි නාට්‍ය හරහා තමයි  ප්‍රෙක්ෂකයෝ මාව අඳුනගත්තේ.


මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නැහැ. මේක මගේ මවුපියන්ගේ සහයෝගයත් එක්ක සෙමින් ආපු ගමනක්. අද වෙනකොට රංගනය පැත්තෙන්  මම ඉන්න තැන ගැන  සතුටු වෙන්න පුළුවන්.
මේ දවස්වල ඔබ චරිත කිහිපයකින්ම  දකින්න ලැබෙනවා.


ඔව් මම දායක වුණු ටෙලි නාට්‍ය  3ක්ම  මේ දිනවල විකාශය වෙනවා. ඒ අතුරින් මීනු ටෙලි නාට්‍යය දින කිහිපයකට ඉහතදී අවසන් වුණා. මේ ටෙලි නාට්‍ය තුනේම  ලැබුණෙ  එකිනෙකට වෙනස් චරිත. 


ඒ ටෙලි නාට්‍ය තුනේම චරිත පටන් ගන්නේ ‘ර’ යන්නෙන් රොහානි, රිහානි, රෝස්.  මේ දවස්වල මගේ වාසනාවන්තම අකුර ‘ර’ යන්න. ඒ අතුරින් මම වැඩිපුරම බැනුම් ඇහුවේ මීනු ටෙලි නාට්‍යයේ රොහානිගේ චරිතයට. අසේකා  සමල්  පවුල් ජීවිතේ අතරට එන තුන්වැන්නිය රොහානි. මීනු ටෙලි නාට්‍යයේ  ඇයි මේ තරම් නපුරු කියලා  පරේ යනකොට ප්‍රේක්‍ෂකයෝ  මගෙන් අහනවා.  දවසක් මගේ ළඟට ඇවිල්ලා කෙනෙක් කිව්වා  මීනු ටෙලි නාට්‍යයේ රොහානිව  දකිද්දි  උස්සලා පෙළොවේ ගහන්න  හිතෙනවා කියලා. මගේ ඇඟ හිරිවැටුණා. අනේ මම ඒ චරිතයක් විතරයි රඟපාන්නේ කියලා පැහැදිලි  කරලා දුන්නා. ඒ තරම් දරුණු  ප්‍රතිචාරයක්  රොහානිට ලැබුණා. 
මීනු ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්‍ෂවරයාගේ  ඉතාම ලස්සන  නිර්මාණයක්. රොහානි කියන චරිතයට  ප්‍රේක්ෂකයින්ට  දැනෙන්නම  සාධාරණයක් කළා කියලා මම හිතනවා.

 


රෝස්ට කොහොමද ප්‍රතිචාර?
රාජිණි ටෙලි නාට්‍යයේ  රෝස් ගේ චරිතයට  ලැබෙන්නේ  වෙනස්ම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්. මට රෝස් ගේ චරිතයට  කතා කරන්නේ  තිළිණ බොරලැස්ස අයියා. රෝස් කියන්නේ සල්ලිකාර පවුලක ජීවත් වන  ගැහැනු ළමයෙක්. රෝස් කියන්නේ ආදරේ ඉල්ලගෙන  තමන්ගේ  පෙම්වතා පස්සේ  යන තරුණියක්. රොස්ට නම් ලැබෙන්නේ බොහොම ආදරණීය ප්‍රතිචාර.

 


පවුලේ තොරතුරු ටිකකුත් කියමුද? 
මගේ අම්මා ගෘහිණියක්. තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මට ඉන්නේ එක මල්ලියි. එයා බැංකු නිලධාරියෙක්.  මගේ කලා ගමනට ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

 


සමාධිගේ ආදරය ගැනත් අපට කියනවද? 
ආදරය කියන්නේ මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්. මට ඉක්මනින්ම තරහ යන, ඉක්මනින්ම නිවෙන, ඉක්මනින්ම දුක හිතෙන චරිතයක්. චරිත ඇතුළෙ මම කොච්චර ආදරය ගැන කතා කළත් ඇත්ත ජීවිතේ ආදරය කියන වචනයටත් මම බයයි. මොකද ආදරේ නිසා  මම මහා හීන ගොඩක් ගොඩ ගහලා තියෙනවා, බලාපොරෙන්තු තියාගෙන ඉඳලා තියෙනවා. මේ හිත ආදරේ නිසා රැවටිලා  තියෙනවා. මම දැන් හිත ගලක් කරගෙන  ඉන්නවා. මාව මතුපිටින් දකිනවාට වඩා පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් මම දරාගත් කෙනෙක්. මට මවුපියන්ගෙන්, ප්‍රේක්ෂකයින්ගේ ලොකු ආදරයක් ලැබෙනවා.  ඒ ආදරය මට මහමෙරක් තරම් වටිනවා. ඒක තමයි මට දෙවියන් දීපු එකම සැනසීම. 

 


සමාධිගේ ජනප්‍රියත්වයට කොණ්ඩයත් බලපෑවා නේද? 
සමහර නිර්මාණවලට ආරාධනා ලැබෙන්න මගේ කර්ලි කොණ්ඩෙත් හුඟක් බලපෑවා. කොණ්ඩය නිසාම ලැබුණු චරිතයත් තියෙනවා. ප්‍රෙක්ෂකයන් වගේම නිර්මාණකරුවන් පවා මගේ කොණ්ඩෙට ආදරේ  කරපු තැන තිබුණා. හුඟක්දෙනා හිතන්නෙම මම ජනප්‍රිය වුණේ  කොණ්ඩෙ  නිසා කියලා. මම  ඊළඟ  නිර්මාණයේ දී  ඒකට අභියෝග කරන්න  සූදානම් වෙනවා. ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේ  අලුත් නිර්මාණයේ මම නිරූපණය කරන්නේ ගැමි චරිතයක්. ඒක මට ටිකක් අභියෝගාත්මක වුණා කිව්වොත් හරි.  ඒ චරිතය වෙනුවෙන්  මම මගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 

 


ඉදිරියට සිනමා තිරයෙනුත් දැකගන්න ලැබේවිද?
ඔව්, මම හරිම ආසාවෙන් හිටියේ සිනමාවට සම්බන්ධ වෙන්න. දැනට මම සිනමා නිර්මාණයක වැඩ කරගෙන යනවා.


 


නදීශා අතුකෝරාළ
ඡායාරූප සජීව ලක්ෂාන්


      
  

Diamond Excellence Awards 2025 Read Previous

Diamond Excellence Awards 2025

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment