මෙරට ගීත කලාවට පදවැල් ගෙතූ යතිවර හිමිසඳ

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවට සදා නොමැකෙන ගේය පද රැසක් දායාද කරමින් අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මහා යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ නිර්මාණාත්මක මෙහෙවර ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සදා මතකයේ රැඳෙනු ඇත.

1950 මැයි 22 වැනිදා බී. එල්. සයිමන් සහ සොබනා හාමි යන දෙමව්පියන්ට දාව ආනන්ද ලියනගේ නමින් උපත ලැබූ උන්වහන්සේ, කුඩා අවධියේදීම සසුන්ගත වූහ. මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හෙට්ඨාචල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ඇසුරෙන් මූලික හා උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, ශාසනික මෙහෙවරෙහි නිරත වෙමින් 1976 වසරේ සිට ගීත රචනය ඔස්සේ සංගීත ක්ෂේත්‍රයට අගනා දායකත්වයක් ලබා දුන්හ.

උන්වහන්සේගේ ගීත නිර්මාණවල විශේෂත්වය වූයේ බෞද්ධ චින්තනය, දාර්ශනික දහම් කරුණු සහ මානවීය වටිනාකම් සෘජුව දේශනා නොකර, ඉතා සරල හා සුගම පදවැල් ඔස්සේ රසික හදවත් වෙත සමීප කිරීමයි. ග්‍රාමීය ජීවිතය, මිනිස් සබඳතා, ගැමි පරිසරයේ සුන්දරත්වය, දුප්පත් ජනතාවගේ ජීවන අරගලය, මව්පිය සෙනෙහස සහ මානව දයාව වැනි විවිධ තේමා උන්වහන්සේගේ නිර්මාණ තුළින් සංවේදීව ඉදිරිපත් විය.

“සඳකඩපහණ” චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ “පෙර සංසාරේ” ගීතය සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, “අලෝකෝ උදපාදී” චිත්‍රපටය සඳහා රචිත “සැඩ පහරක් සේ එකමුතු වූ දා” ගීතය දෙරණ සිනමා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

1987 වසරේ “සංසාරේ අපි” කැසට් පටයෙන් ඇරඹුණු උන්වහන්සේගේ ගීතාංකුරය, “ගම්මානේ අපි”, “සමනල කන්ද”, “සංසාරේ ගී යාතිකා”, “බුදු අමා වැස්ස” සහ “සංසාර චාරිකා” වැනි නිර්මාණ ඔස්සේ තවදුරටත් විහිදී ගියේය. “සසර දනව්ව” වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයන් ද උන්වහන්සේගේ නිර්මාණ දායකත්වයේ සුවිශේෂී සලකුණු ලෙස සඳහන් කළ හැකිය.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සුභාවිත ගීතයට තිබූ ඉඩකඩ සිය නිසඟ පන්හිඳෙන් පුරවාලූ උන්වහන්සේගේ මෙහෙවර කිසිදා අමතක නොවනු ඇත. සිය සසුන්ගත අරමුණෙහිම පිහිටා, ගොරතර සසරේ මිනිස් අසරණභාවය දුටු උන්වහන්සේ, සිය නිසඟ පන්හිඳෙන් හෙළ සුභාවිත ගීතයටත්, බෞද්ධ සාහිත්‍යයටත් අනූපමේය මෙහෙවරක් ඉටු කළහ.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්වේවා!

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Next

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment